වීසා නැති සංචාරකයෝ - 17


වල්ගය පත් කරමින් දුක්මුසු විලාපයක් වැනි මහ හඬක් නගන ලතෝනි කොහා ඉන්දියාව නිජබිම කරගත් පක්ෂි විශේෂයකි. ඉග්‍රීසි බසින් ඉන්දියන් ප්ලේන්ටිව් කුකූ Indian plaintive cuckoo හා ග්‍රේ බෙලීඩ් කුකූ Gray-bellied cuckoo යන නම් වලින් හඳුන්වයි.  

කාකොමැන්ටිස් පැසෙරිනස් Cacomantis passerinus ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ පක්ෂියා ශ්‍රී ලංකාව, දකුණුදිග චීනය, ඉන්දුනීසායව වැනි ප්‍රදේශවලට පර්යටනය කරයි. සංචාරක පක්ෂීන් අතර ඉතා කෙටි දුරක් සංචාරය කරන පක්ෂියකු ලෙස හැඳින්වේ.

කුඩා වනලැහැබ් හා කෘෂිකාර්මික බිම් හා ගෙවතු අසළ ලතෝනි කොහා වැඩි වශයෙන් පැමිණෙන්නේ මෙරට පහතරට වියළි කලාපයටය. තෙත් කලාපයේ දුලබය. කඳුකරයෙන් ද වාර්තා වී ඇති පක්ෂි විශේෂයකි.

කොණ්ඩ කුරුල්ලකුගේ පමණ විශාලත්වයකින් යුතු සිරුරකට හිමිකම් කියන ලතෝනි කොහා බට්ටිච්චන්ගේ හා අළු ප්‍රීණියාවන්ගේ කැදැල්ලේ බිත්තර දමයි. බිත්තර දැමීමට සුදුසු කැදැල්ලක් දුටුවිට කිරිල්ලිය කැදැල්ලෙන් ඉවත්ව ගිය වහා එහි ගොස් එක් බිත්තරයක් දමා ක්ෂණයකින් පලා යාමේ හැකියාව ලතෝනි කොහාට ඇත. කුඩා බට්ටිච්චන් තමන්ට වඩා සිරුරෙන් විශාල මේ පැටවුන් කෙටි කලක් පෝෂණය කරන ආකාරය ද දක්නට ලැබෙයි.

ලතෝනි කොහාගේ හොයට කළු පැහැතිය. ඇස් රතු පැහැතිය. පිරිමි සතාගේ පියාපත් තරමක් අළු පැහැයට හුරු කළු පැහැතිය. සුදු පැහැති කෙළවරක් සහිත කළු පැහැති වලිගයකි. යටි කය තරමක් ලා පැහැතිය. ගැහැණු සතා රතුවන් දුඹුරු පැහැතිය. උගුර පෙදෙස ද දුඹුරුවන්ය. උගුරත් සුදු පැහැති යටි කයත් තද පැහැති වයිරම්වලින් සමන්විතය.  

Lathoni koha (2) Lathoni koha (3) Lathoni koha (4) Lathoni koha (5) Lathoni koha (6) Lathoni koha (7)