වීසා නැති සංචාරකයෝ - 10


කළු පැහැයට හුරු දිගු පෙඳයක් සහිත කවුඩන් විශේෂ 22ක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් විශේෂ පහක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර අළු කවුඩා ශ්‍රී ලංකාවට වරින් වර පැමිණෙන නිහැරි කුරුල්ලෙකි. ශ්‍රී ලංකා සිළු කවුඩා මෙරටට ආවේණිකය.

අප්‍රිකාවේ සිට දකුණු ආසියාව හරහා චීනය දක්වා නැගෙනහිර දෙසටත්, ඕස්ට්‍රේලියාව දක්වා දකුණු දෙසටත් කවුඩෝ පැතිර සිටිති.

ඒ අතරින් අළු කවුඩා ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ ග්‍රේ ඩ්‍රොන්ගෝ නැතිනම් ඈෂි ඩ්‍රොන්ගෝ නමිනි. සත්ත්ව විද්‍යාත්මකව ඩික්රුරුස් ලෙවුකොෆේයුස් ලෙස Dicrurus leucophaeus හැඳින්වේ.

සෘජු ඉරියව්වකින් ලැග සිටින කවුඩන් වරින් වර ගුවනට පියඹා කෘමි සතුන් අල්ලා ආහාරයට ගනී. ඉතා කඩිසර පක්ෂියෙකි. කවුඩන් අතරින් අළු කවුඩා දකුණු ආසියාවේ සහ ගිනිකොණදිග ආසියාවේ පැතිර සිටියි. වැඩුණු අළු කවුඩාගේ ප්‍රධාන වර්ණය වන්නේ තද අළු පැහැයයි. දෙබලක් මෙන් දික්ව වැඩුණු වලිගය ද විශේෂ ලක්ෂණයකි.

මෙරට වාර්තාවන කවුඩන් අතරින් වඩාත් ලා පැහැති විශේෂය වන්නේ අළු කවුඩාය. ඉන්දියාවේ සිට ශීත කාලයේ දී මෙරටට එන අළු කවුඩා මෙරට පහතරට වියළි කලාපයේ නැගෙනහිර ප්‍රදේශයේ වැඩිපුර දක්නට ලැබෙයි.

අළු කවුඩා ද වෙනත් පක්ෂීන් ඇතුළු සතුන්ගේ හඬ අනුකරණය කිරිමේ හැකියාවෙන් යුක්තය. ඉතා කෙටි පාද දෙකක් සහිත අළු කවුඩා නිතර ම උසැති ගස් මුදුන්වල වාසය කරයි.

තනියම වාසය කිරීමට ප්‍රියකරන කවුඩා කුඩා කණ්ඩායම් ලෙස ද සිටිනු දක්නට ලැබෙයි. මැයි සිට ජුනි දක්වා කාලයේ දී කැදලි තනා රතු පැහැයට හුරු දුඹුරු පාට බිත්තර තුනක් හෝ හතරක් දමයි.

ඉතා නිර්භීත කුරුල්ලකු ලෙස ප්‍රකටය.  

_dsc5754a 00000008387