
(අංජුල මහික වීරරත්න)
වී ගොවීන්ගේ ගැටලුවලට විසැඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද, අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බව සඳහන් කළේය.
ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකළ යුතු බවත්, මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම කෙරෙහිද අවධානය යොමු විය.
එසේම, පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ලෝක වෙළෙඳපොළෙහි තත්ත්වයද සැලකිල්ලට ගෙන පොහොර සහනාධාර මිල තීරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, ගබඩාකරණය, වී වේලා ගැනීම ඇතුළු නිෂ්පාදන කාර්යයන් සම්බන්ධයෙන් ගොවින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමට ගත හැකි පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

