වී සහතික මිල එළියට


(යොහාන් භාසුර)

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය.

අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ කීය.  

මෙම මිල සහතික, හෝ උපරිම හෝ අවම මිල නොවන අතර එය ‘වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා මිල’ බවත් එම මිලට ඉහළ මිලකට වී අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති මෙන්ම ඊට වඩා පහළ මිලකට වී අළෙවි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.

ප්‍රවාහන ගාස්තුවක් ලෙස වී අළෙවි මණ්ඩලය වී අළෙවිකරුවන්ට කිලෝවක් සඳහා මීට පෙර දුන් රුපියල් 2 ක අමතර මුදල මෙම මිලට ඇතුළත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  

වී අළෙවි මණ්ඩලය සතුව වී වේළීමේ පහසුකම් නොමැතිවීම නිසා එම මණ්ඩලය තෙත වී මිලදී නොගන්නා බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් යුත් වී නව මිලට ගන්නා බව ද සඳහන් කළේය.

ගෙවීන් වී අළෙවි මණ්ඩලයට වී අළෙවි කළ පසු පසුගිය කාලයේ මුදල් ගෙවීම බොහෝ ප්‍රමාද වී තිබුණ ද ඒ ආකාරයේ ප්‍රමාදයක් නොවන බවත් සහල් මිලට බලපෑමක් ඇතිකිරීමට ප්‍රමාණවත් වී තොගයක් මිලදී ගන්නා බවත් අමාත්‍යවරයා කීය.

වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා වී ඇටයක්වත් අළෙවි නොකර සියලුම වී සහල් කරන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ සහල් මාෆියාවෙන් ජනතාව මුදාගැනීමට වී තොග පාවිච්චි කරන බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශයට යටතේ පාලනය වන ආයතනය එකතුව ගොවියා සහ පාරිභෝගිකයා රැකෙන ආකාරයට වී මිල නියම කර ඇති බවත් නිෂ්පාදන වියදමට තුනෙන් එකක ලාභයක් මෙම මිලට ඇතුළත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වී මිලදීගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය සතු ගබඩා සූදානම් කර ඇති බව කී අමාත්‍ය ලාල් කාන්ත මහතා වී අළෙවි මණ්ඩලයට අමරතව සතොස සහ ඇතැම් සමූපකර ද සහල් මිලදීගැනීම නිසා ආණ්ඩුවට විශාල සහල් තොගයක් මිලදීගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.