වී අළෙවි මණ්ඩලය බලාපොරොත්තුවෙන්



(යොහාන් භාසුර)

ගොවි ව්‍යාපාර රැසක වී අස්වැන්න මේ දක්වා නෙළීම ආරම්භ කර නොමැති බවත් වී අස්වැන්න නෙළීම අඛණ්ඩව සිදුවන විට ගොවීන් රජයේ කොටස වී අළෙවි මණ්ඩලයට අළෙවි කරනු ඇති බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද (10) පැවසීය.

වී අළෙවි මණ්ඩලය සතු ගබඩා වී මිලදීගැනීම සඳහා සූදානම් කර ඇති බවත් ප්‍රයෝජනයට ගතනොහැකි තත්වයට පත්ව තිබූ එම ගබඩාවලින් වැඩි සංඛ්‍යාවක් ගොවි සංවිධානවල මැදිහත්වීමෙන්ම නැවත ප්‍රයෝජනයට ගතහැකි තත්වයට පත්කළ බවත් පින්නලන්ද මහතා කීය.

ගොවි ජනතාව නැවත සකස් කළ ගබඩාවලට එම ජනතාව වී අළෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන කී පින්නලන්ද මහතා තවත් විශාල වී තොගයක් නෙළීමට ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
වී කිලෝවකට රුපියල් 120 ක මිලක් ලැබීම ගොවිජනතාවට කළ හොඳ දිරිගැන්වීමක් බවත් ගොවි ජනතාව ඒ පිළිබඳව අවදානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා වැඩි දුරටත් පැවසීය.

වී අළෙවි මණ්ඩලය මෙම මස 6 වැනිදා වී මිලදීගැනීම ආරම්භ කළ කිසිඳු ගොවියෙක් ඊයේ පස්වරුව දක්වා එම මණ්ඩලයට වී අළෙවි කර නොතිබුණි.

අස්වැන්න නෙළන ප්‍රදේශවල ගොවීන් වී අළෙවි මණ්ඩලය මිලදීගන්නා මිලට වඩා වැඩි මිලට වී අළෙවි කරන බවත් පෞද්ගලික අංශය රජයේ මිලට වඩා වැඩි මිලට වී මිලදීගන්නා බවත් ගොවි සංවිධාන පැවසීය.