( තිළිණි ද සිල්වා )
අන්තර්ජාලය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා බෞද්ධයින් එකමුතු කරමින් රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ මහා පුන්‍යෝත්සවයක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉකුත් 27 වැනිදා ඇමෙරිකාවේදී පැවැත්විණි.
මෙම පුන්‍යකර්මය ලොස් ඇන්ජලිස්හි පිටිහි ධර්ම විජය බෞද්ධ විහාරායේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, විහාරස්ථාන 108ක මහා සංඝරත්නයගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර මෙම පුන්‍ය කටයුත්ත සඳහා තායි, නේපාල, වියට්නාම් සහ බංග්ලාදේශී බෞද්ධ විහාරයන්හි ස්වාමීන් වහන්සේලාද එක්වූහ.
බෞද්ධ දර්ශනය ලොවපුරා ගෙනයාම පිණිස ධර්මදූත මෙහෙයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවූ මෙම සද් කාර්ය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය කෘතඥතාවය පළ කර සිටී.
ශ්‍රී ලංකාව වෙතින් ලෝකය වෙත පිරිනැමිය හැකි ඉමහත් දායාදය වන බෞද්ධ දර්ශනය ලොවපුරා ගෙනයාම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා විසිරී සිය ධර්මදූත සේවයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවූ මහඟු සද් කාර්යය සම්බන්ධයෙන් සිය අතිශය කෘතඥතාවය සංඝරත්නය වෙත පළකරන බවද ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්‍යසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඩ් -19 වසංගතය සහ ඒ සමඟ ඇති වන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජනතාව පෙර නොවූ විරූ පරිමාණයකින් අවිනිශ්චිතතාවයෙන් හා මානසික අවපාතයෙන් පීඩාවිඳින බව සඳහන් කළ තානාපති ආර්‍යසිංහ මහතා බුදුන් වහන්සේගේ ගැන්වීම් විශ්වීයත්වය හේතුවෙන් රතන සූත්‍රය සජ්ඝායනා කිරීමෙන් සියලු ලෝක වාසීන්ටම බුදුන් වහන්සේ සමයේ සිදුවූවාක් මෙන් ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.
මෙහිදී අන්තර්ජාල ඔස්සේ රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ කර්තව්‍යයට එක්වූ නිව්යෝක්හි ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හීන්බුන්නේ කොන්ඩඤ්ඤ හිමි සිය අනුශාසනය පවත්වමින් , රතන සූත්‍ර දේශනාවේ අනුගත ආරක්ෂාව සඳහා වන ප්‍රබල ආශීර්වාදය සහ ඉන් සෑම කෙනෙකුටම ලැබෙන පිටිවහල පිළිබඳව කරුණු දැක්වූහ.බෞද්ධ පතපොත අනුව රතන සූත්‍රය ඉන්දියාවේ විශාලා නුවරදී බුදුරජාණන්වහන්සේ දේශනාකර ඇති අතර ඉන් එම නගරය වඩා පැතිරගිය රෝග බය අමනුෂ්‍ය බය සහ දුර්භික්ෂය නිසා ඇතිවූ පීඩාවන් සම්පූර්ණයෙන් පහව ගිය බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියහ.
මෙම පුණ්‍ය ක්‍රියාව හරහා වර්තමාන කෝවිඩ් අර්බුදයට සහනයක් ලබාදීමට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ නායකයින්ට ආශිර්වාද කිරීමටත් එළැඹෙන 2021 වසර සඳහා සැමට ආශීර්වාද කිරීමටත් අපේක්ෂා කරන බව අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායකහිමිපාණෝ මෙම පිරිත් සජ්ඝායනාව ආරම්භකරමින් පැවසූහ.



