විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට


20- 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි.

මීට පෙර ලෝක කුසලාන සංචිතයේ නායකත්ව ලසිත් මාලිංගට පැවරී තිබූ අතර ආබාධයක් හේතුවෙන් ආසියා කුසලාන තරගාවලියේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ ලසිත් මාලිංග සඳුදා නායකත්වයෙන් ඉවත්වන බව තහවුරු කළේය.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ටද උපනායකත්වය දිනේෂ් චන්දිමාල්ටද ලබා දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවටද අරවින්ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් නව සාමාජික පිරිසක් ද තෝරාගැනිණි. ඒ අනුව කුමාර් සංගක්කාර, රොමේෂ් කළුවිතාරණ, ලලිත් කළුපෙරුම හා රංජිත් මදුරසිංහ එහි නව සාමාජිකයෝ වෙති.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර සංචිතයේ වෙනස්කම් කිහිපයක්ද අද සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි.