සාමාන්‍ය පෙළ විශිෂට ප්‍රතිඵල ගත් සිසුන්ට ජනප්‍රිය පාසල්වලට යෑමට අවස්ථාව දෙන්නැයි කියමින් ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමිවූ සිසුන්ගේ දෙමාපිය සංගමය‘ හා ‘ලංකා ගුරු සංගමය‘ එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.
ඊට දෙමාපියෝ 200ක් පමණ සහභාගී වූහ.
උද්ඝෝෂණය අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දෙමාපියෝ තිදෙනෙක් ගොස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතා හමුවූහ.
නව චක්‍රලේඛය නිසා සිසුනට සිදුවී අසාධාරණය ගැන සහකාර ලේකම්වරයා දැනුවත් කළ බවත්, ඒ ගැන සාකච්ඡා කර පියවරක් ගන්නා බවට ඔහු පොරොන්දු වූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් මහතා කීවේය.
සහකාර ලේකම් ප්‍රේමතිලක මහතා පැවසුවේ ලංකා ගුරු සංගමය සහ දෙමාපිය පිරිසක් පැමිණ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ ගැන තවම තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම පැවසීය.
ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ජගත් ආනන්ද සිල්වා, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමයේ ඩබ්ලිව් එල් ඥානරත්න, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ජී දයාරත්න, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක්‍රම මහත්වරු ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයෝ රැසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.
ඡායාරූප මුදිතා දයානන්ද