විශිෂ්ට රංගධරයකුගේ නික්ම යෑම


ලාංකීය සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නළුවා වූ ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික‍්‍රම හෙවත් ජෝ අබේවික‍්‍රම පෙරේදා (21) හදිසියේම අප අතරින් වෙන්ව ගියේය. ලාංකීය සිනමාවේ චරිතාංග නළුවකු ලෙස මනා ප‍්‍රමුඛත්වයක් ප‍්‍රකට කළ ඔහු සිනමාවේ, ටෙලිනාට්‍ය කලාවේ මෙන්ම නාට්‍ය කලාවේද සැරිසැරූ කාලය දශක හයකට ආසන්නය. රත්නපුර ලෙල්ලෝපිටියේදී 1927 වසරේ උපත ලද ජෝ, දිප්පිටිගල මිශ‍්‍ර පාසලෙන් සහ රත්නපුර සීවලී විදුහලෙන් අධ්‍යාපනය ලබා පසුකාලීනව සිනමාවට එක්වූයේ නළුවකු ලෙසය. 1955 වසරේදී දේව සුන්දරී චිත‍්‍රපටයට විකටයකු ලෙස ඔහු චරිත නිරූපණය කළත් එම චිත‍්‍රපටය තිරගත වූයේ ජෝගේ දසවැනි චිත‍්‍රපටය හැටියටය. ඔහුගේ රංගනය ලාංකීය පේ‍්‍රක්ෂකයන්ට පළමුව දැකගත හැකි වූයේ 1957 වසරේදී තිරගතවූ ටී. සෝමසේකරන්ගේ සරදම් චිත‍්‍රපටයෙන්ය. එහෙත් ජෝ. ජනප‍්‍රියත්වයට පත්වූ පළමු චිත‍්‍රපටය වූයේ රන්මුතු දුවය. අපේ පළමුවන වර්ණ චිත‍්‍රපටය වන එහි ප‍්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකාගේ මිතුරන් දෙදෙනාගෙන් එකකු ලෙස ජෝ රඟපෑ අතර අනික් මිතුරාට රඟපෑවේ ෂේන් ගුණරත්නයන්ය. ඉන්පසු තිරගතවූ ගැටවරයෝ, චණ්ඩියා චිත‍්‍රපට ජෝගේ ජනප‍්‍රියතාව තව තවත් වැඩිකළ අතර මේ සියලූ චිත‍්‍රපටවලට අධ්‍යක්ෂවරුන් ජෝ කොටුකර තැබුවේ විකට චරිතවලටය. ජෝ ප‍්‍රධාන චරිතය නිරූපණය කළ පළමුවන චිත‍්‍රපටය වන්නේ 1956 වර්ෂයේ තිරගතවූ සාරවිට චිත‍්‍රපටයයි. වසර දහයක් එකම අංශයේ චරිතවලට කොටුවූ ජෝ එයින් පිටපැන අනුවේදනීය චරිතයකට අවතීර්ණ වූයේ සාරයියා චරිතය ඔස්සේය. ජෝගේ ප‍්‍රබල රංගනය සනිටුහන් වන්නේ ඞී.බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර චිත‍්‍රපටයෙන්ය. එහි ගෝරිං මුදලාලිගේ චරිතය රඟපෑ ජෝ ඉතා ප‍්‍රබල චරිතයක් මනා ලෙස හසුරුවා ගත්තේය. රංගනය මෙන්ම දෙබස් උච්චාරණය මැනවින් සමබර කරගනිමින් රංගනයේ යෙදුණු ජෝ තමන්ට රඟපෑ හැකි වපසරිය මේ යැයි අධ්‍යක්ෂවරුන්ට ඒත්තු ගැන්වූයේය. ඉන්පසු ජෝ අල්ලපුගෙදර, ස්වීප් ටිකට් වැනි චිත‍්‍රපට ඔස්සේද පේ‍්‍රක්ෂකයාට දැනෙන චරිත නිරූපණය කළේය. ජෝ වඩාත් පේ‍්‍රක්ෂකයන්ට සමීප වූයේත් ගෞරවයට පාත‍්‍රවූයේත් සම්භාව්‍ය චිත‍්‍රපට රැසකට එක්කළ රංගනයත් සමගය. විශේෂයෙන්ම මහගම සේකරයන් ගේ තුංමං හන්දියේ ප‍්‍රධාන චරිතය ඔස්සේ ඉතා සංවේදී චරිතයක් නිරූපණය කළ ජෝ ඉන්පසු සිරිබෝ අයියා, සිරිපාල හා රන් මැණිකා, බිතු සිතුවම්, ගොළු මුහුදේ කුණාටුවක්, අවරගිර, බැද්දේගම, සොල්දාදු උන්නැහේ, බඹරු ඇවිත් වැනි චිත‍්‍රපට ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් පේ‍්‍රක්ෂකයා වැළඳගත් අතර එහි කූඨප‍්‍රාප්තිය සටහන් වන්නේ ප‍්‍රසන්න විතානගේ ගේ පුරහඳ කළුවර චිත‍්‍රපටයෙන්ය. මෙම චිත‍්‍රපට සියල්ලේම ජෝගේ ආත්මය මැනවින් නිරූපණය වූයේය. ඔහු ගමෙන් ලද පන්නරය ඒ ඔස්සේ චරිත අවබෝධ කරගැනීමේ කුසලතාව මෙන්ම ඔහු සහජයෙන් ගෙන ආ වාසනා ගුණයද පරිපූර්ණ නළුවකු වීම සඳහා ඔහුට බලපෑවේය. ලාංකීය සිනමාව ලෝකයේ අවධානයට පාත‍්‍රවීම සඳහා ද ජෝගේ දායකත්වය ප‍්‍රධාන වශයෙන් හේතුවිය. 1999 වසරේදී 12 වැනි සිංගප්පූරු අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට තේරුණු ජෝ පසුකාලීනව සරසවි, ස්වර්ණ සංඛ, ජනාධිපති සම්මාන උළෙලවලදී සම්මාන රැසක් හිමිකර ගත්තේය. 2000 වසරේදී ඉමදියමංකඩ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් ජෝ හොඳම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානයද හිමිකර ගැනීම විශේෂත්වයකි. රංගනය හදාරන්නේ නැතිව ජාත්‍යන්තර සම්මානයට පත් එකම නළුවා ජෝ ලෙස විචාරකයන් හැඳින්වූ අතර ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ ජෝ වේදිකාවේ දස්කම් පෑ නාට්‍ය විය. එහෙත් ඔහු පළමු වතාවට වේදිකාවට පිවිසෙන්නේ 1959 වසරේ වේදිකාගතවූ මල්යහනාව නාට්‍යයෙන්ය. ජෝ වැනි ප‍්‍රවීණයන් නික්මයෑම මහත් වේදනාවට කරුණකි. එයට හේතුව ඔවුන්ගෙන් ඇතිවූ හිඩැස පියවා ගන්නේ කෙසේදැයි සිතනවිටය. වසරින් වසර අවබෝධයෙන්ම තම රංග කාර්ය ප‍්‍රගුණ කරගනිමින් නළුකමේ දැවැන්තයකු වූ ජෝ මියයන අවස්ථාව වන විට චිත‍්‍රපට 175 කට පමණ තම රංගන දායකත්වය අසුකර තිබිණි. ජෝ අබේවික‍්‍රමයනි ඔබට නිවන්සුව. (විශේෂ ස්තූතිය: මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට)
-කොත්මලේ සිරිසේන (ඡායාරූප: පද්මකුමාර මෙත්තසේන)