වසර 39ක් ගුරුවරියක ලෙස කටයුතු කර විශ්‍රාම ගොස් අවුරුදු 16ක් ගියත් තවමත් තමන්ට විශ්‍රාම වැටුප නොලැබෙන බව නුගේගොඩ එස් එෆ් එම් අයිදෘස් මහත්මිය කියන්නීය.
තමන්ට දැන් කාත් කවුරුවත් නැති බවත්, පෞද්ගලික ස්ථානයක නැවතී සිටින බවත්, විශ්‍රාම වැටුප් නොලැබෙන නිසා නවාතැනට මුදල් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඇය පවසන්නීය.
තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා 16 වසරක් තිස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා කොළඹ කලාප කාර්යාලයයට යන බවත්, තවමත් සහනයක් නොවූ බවත් අයිදෘස් මහත්මිය පවසන්නීය.
1961 පෙබරවාරි 16 වැනි දා ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳී ඇති ඇය 2000 වසරේ අප්‍රේල් 17 වැනි දා විශ්‍රාම ගොස් ඇත. ඇය අවසානයට සේවය කර ඇත්තේ කොටහේන පාතිමා කාන්තා විද්‍යාලයයේය.
තමන්ට සහනයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලමින් ඇය අද (16) ලංකා ගුරු සංගමයේ කාර්යාලයයට ද ගියාය.
රජයේ සේවකයකු විශ්‍රාම යන විට ඔහු හෝ ඇය විශ්‍රාම වැටුපට හිමිකම් කියන බවත්, විශ්‍රාම ලැබූ මාසයේ සිටම විශ්‍රාම වැටුප ගෙවිය යුතු බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
මේ ගුරුවරියගේ පෞද්ගලික ලිපි ගොනුව අස්ථාන ගත වී ඇති බව බලධාරීන් කියන බවත්, කලාප කාර්යාලයයේ තිබෙන එම ලිපි ගොනුව අස්ථාන ගත වී ඇත්නම් ඊට කලාප කාර්යාලයයේ බලධාරීන් වග කිව යුතු බවත්, වසර 16ක් යන තුරු මෙම ගුරුවරියට විශ්‍රාම වැටුප ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.
ගුරුවරියට නැවත ලිපිගොනුවක් සකස් කර විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස මීට කලකට පෙර නිර්දේශ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ආරංචි මාර්ග කියයි.
මේ ගැන විමසීමට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවතාවක් උත්සාහ කළත් එය අසාර්ථක විය.


