(අංජුල මහික වීරරත්න)
විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
එම වැඩපිළිවෙළ පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ආරම්භ කිරිමට අදහස් කරන බවද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දැක්වුයේ ශ්‍රී ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල වශයෙන් ඉතිහාසයට ද එක්වෙමින් ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් රැසක් ලබාදෙනු ලබන මධ්‍යම පළාතේ, පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවාවන් සොයා බැලීමට එක් වෙමිනි.
බටහිර වෛද්‍ය ක්‍රමයන් තුළින් මෙන් ම දේශීය ප්‍රතිකාර ක්‍රමවේදයන් තුළින් ද ජනතාව වෙත වඩා යහපත් වූ සෞඛ්‍ය ආරක්ෂිත, උසස් ජීවන තත්ත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම නව සැලසුම් දියත් කරන බවත් ඒ තුළින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්ට අගයක් මෙන් ම, විශිෂ්ටත්වයක් ද ලබා දීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
සියලු ආයුර්වේද ප්‍රතිකාර අංශයන්ගෙන් සමන්විත පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහල අතීතයේ වතු රෝහලක් ලෙස ආරම්භ කොට ඇති අතර, රෝහල ස්ථාපිත කොට මේ වන විට වසර 40 කට අධික කාලයක් ගතව ඇත. පංචකර්ම ප්‍රතිකාර ඒකක සහ නේවාසික වාට්ටු සංකීර්ණ 08 කින් ද ගෙවන වාට්ටු කාමර 11 කින් ද සමන්විත මෙම රෝහලෙන් දිනකට රෝගීහු 500 කට අධික ප්‍රමාණයක් නේවාසිකව හා බාහිර ලෙස ප්‍රතිකාර ලබා ගනිති.