විමල් වීරවංශ ෆෙඩරල් බිල්ලා යළි පෙන්වයි


දින සීයෙන් ඉටු කරන බවට ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන රජය බෙදුම්වාදීන්ට හොර රහසේ දුන් පොරොන්දු ඉටු කරමින් රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 19 වැනි දා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇති උතුර නිර් මිලිටරීකරණය කිරීම, පුළුල් බලය බෙදීමකට යාම ආදිය සම්බන්ධ ප්‍රකාශවලින් මේ බව තහවුරු වන්නේයැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරියට ඉල්ලා අස්වන ලෙස තර්ජනය කරමින් බලපෑම් කරන මේ පාලනයෙන් බලාපොරොත්තු විය හැකි යහපාලනය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බව ද ඔහු පැවසීය.

හිටපු ඇමැතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල ජයන්තිපුර පිටිහි ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.