විභාග අස්සේ ඡන්දෙට ගුරු සංගම් විරෝධය


මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා ආරම්භ වී 31 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, එසේ තිබියදී ජාතික විභාග දෙකක් පැවැත්වෙන වකවානුවක මැතිවරණ පැවැත්වීමට විරෝධය දක්වන බව ලංකා ගුරු සංගමය කියයි.

2012 වසරේ උතුරුමැද හා සබරගමු පළාත් සභා මැතිවරණ අගෝස්තු මස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර පැවැත්වීම විභාගයට පෙනී සිටි දරුවන්ට බරපතල ලෙස බාධාකාරී වූ බව ද, ඒ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද, පසුගිය වසරේද එවැනි අත්දැකීම් තිබියදී මේ වසරේද උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතරතුර මැතිවරණ පැවැත්වීම බරපතල ගටළුකාරී තත්ත්වයක් බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඉන්දියාව වැනි රටවල පවා මැතිවරණ කොමසාරිස්  ජාතික මට්ටමේ විභාග කාල සටහන් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන පසුබිමක ලංකාවේ මේ ආකාරයට කටයුතු සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවත් ඊට දැඩි විරෝධය පළ කරන බවත් ස්ටාලින් මහතා කියයි.