(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂයට බහුතරය නැති පළාත් පාලන ආයතන වල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම විරෝධතාවයක් එල්ල කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේදී මාලිමාව සමඟ සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ක්‍රියා කිරීමය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ එකතු කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිසා තම පක්ෂද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවය.
බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේ දී ඡන්ද තුනක් තිබූ ජාතික ජන බලවේගයට සභාපති ධුරයත් ඡන්ද හයක් තිබූ සමගි ජන බලවේගයට උප සභාපති ධුරයත් පිරිනැමීම එම පක්ෂ දෙක අතර කිසියම් අවබෝධතාවයක ප්‍රතිඵලයක් බවට පක්ෂ නායකයන් කරුණු දක්වා ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය මාලිමා ආණ්ඩුවට හොඳටම හීලෑ වී ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහතාට කෙලින්ම ප්‍රකාශ කර තිබේ.
මේ පසුබිම යටතේ පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිෂ්ඵල තත්ත්වයට පත්ව ඇතැයි ද විපක්ෂයේ පක්ෂ නායකයෝ තවදුරටත් චෝදනා කර සිටිති.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින වලදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කරුණු සාකච්ඡා කිරීමට අදහස් කර සිටී. සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හරියට ආණ්ඩුවේ කොටසක් හැටියට බව පෙනෙන්නේ යැයි ද විපක්ෂයේ පක්ෂ නායකයන් සඳහන් කර ඇත.