සුළි කුණාටුවෙන් ජීවතක්ෂයට පත් ධීවර ජනයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් ගමන් ගත් වාහන පෙළට බළපිටිය වයි එම් බී ඒ ශාලාව අසලදී මැර ප්‍රහාරයක් එල්ලවිය.
මේ මැර ප්‍රහාරය එල්ල කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ මැර කණ්ඩායමක් බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සුළි කුණාටුව ගැන ආණ්ඩුව කල් ඇතුව දැනුම් නොදීම හේතුවෙන් මේ අහිංසක සහ අසරණ මිනිස් ජීවිත අහිමි වීමේ යථාර්ථය මෙවැනි ඉතාම පහත් බියගුලු සහ තිරස්චීන මැර ප්‍රහාරවලින් වසාගත නොහැකි යැයි සඳහන් කළේය.
මිනිසකුගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට තිබෙන අවස්ථාව පවා මැර කන්ඩායම් යොදවා වැළැක්වීමට උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ රටත් ජනතාවත් වෙලාගෙන සිටින මිනී මරු බියකරු ඒකාධිපති පාලනයේ භයානක ස්වභාවය යැයි අත්තනායක මහතා කීය.
මේ මැර ප්‍රහාරයෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකයන් ගමන් ගත් නිල රථයට සහ පරිවාර රථවලට දැඩි අලාභහානි සිදුවූ බව ද එජාප මහලේකම්වරයා පැවසීය.
විපක්ෂනායකවරයා බලපිටියට පැමිණීමට එරෙහිව පැවැති උද්ඝෝෂණයේදී පහරකෑමට ලක්වූ බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් අසේල ද සොයිසා සහ එම් ඩබ්ලිව් සෙනරත් යන මහත්වරුන් අද (11) සවස බලපිටිය රෝහලට ඇතුළු කළ අතර පහරදීම පිළිබඳව අහුංගල්ල පොලිසියට ද පැමිණිලි කර තිබේ.