විනිසුරුවරුන්ගේ - නීතීඥවරුන්ගේ සංගම් එකඟතාවකට


(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන වාර්ෂික නිළවරණයේ තේරීම් බාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) එකඟතාවයකට පත්ව ඇත.‍ ලබන 15 වැනිදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වාර්ෂික නිළවරණය  පැවැත්වෙන  බවත් එහි තේරීම් බාර නිලධාරීන් ලෙස දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසීය.

අධිකරණ සේවා සංගමයේ (විනිසුරුවරුන්ගේ සංගමය) හා  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරීන් සහ විධායක සභා සාමාජිකයින්  කොළඹ දිසා අධිකරණයේ පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.

අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) වෙනුවෙන් එහි සභාපති සුජීව නිශ්ශංක, ලේකම් මොහොමඞ් මිහාල්, උප සභාපතිවරුන් වන රංග දිසානායක, හසිත පොන්නම්පෙරුම සහ ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඇතුළු  විධායක කමිටු සාමාජිකයින් 22 දෙනකුද ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජෙෆ් අලගරත්නම්, උප සභාපති සාලිය පිරිස්, ලේකම් අමල් රන්දෙණිය, භාණ්ඩාගාරික දිනු ධර්මරත්න, උප ලේකම් රජිත හතුරුසිංහ, යන මහත්වරුන් සහ විධායක කමිටු සාමාජිකයින් හත් දෙනෙකුද මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටියහ. 

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වාර්ෂික නිළවරණයේ තේරීම් බාර නිලධාරීයා ලෙස කටයුතු කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් මහතාද මෙම සාකච්ඡාව සඳහා සම්බන්ධ විය.