තමන්ට එරෙහි අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපති ගත් තීරණය නීති විරෝධි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය .
අගවිනිසුරු කේ ශ්‍රී පවන්, උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
අදාළ චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා තමන්ට අදාළ නීති රාමුව යටතේ සිට කටයුතු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.
කිසිම අවස්ථාවක නීතිපතිවරයා නීතිය අභිබවා ගොස් කටයුතු කර නොමැති බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නිසා පෙත්සමේ සඳහන් කරුණූ අදාළ නොවන බව සඳහන් කර තිබේ.ඒ අනුව පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.
සිය නිවසේ මෙහෙකාරියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැණි බව පෙත්සම්කාර සරත් ද ආබෲ මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබීණි.
සාධාරණ පරික්ෂයකින් තොරව අදාළ චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති බව පෙත්සම්කාර සරත් ද ආබෲ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.ඒ හේතුවෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස සරත් ද ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

