විදේශිකයාගෙන් අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ්


(රොෂන් තුෂාර)

සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකක් හා රුපියල් 30,000/= ක මුදලක් බලෙන් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (21) නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරිණි.

සිංගප්පූරු ජාතිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් බම්බලපිටිය පොලිසියේ පොලිස් සැරයෙන් වරයකු හා පොලිස් රියදුරකු මෙසේ ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කියා සිටියේ පැමිණිලිකාර සිංගප්පූරු ජාතිකයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටින අතරතුර රාත්‍රියේ මුර සංචාරයේ නිරත සැකකාර පොලිස් නිලධාරින් දෙදෙනා සිංගප්ගපුරු ජාතිකයාගේ ගමන් බෑගය පරික්ෂා කර විදේශීය දුම්වැටි දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඊට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා මෙම මුදල් ඉල්ලා බලෙන් ලබා ගෙන ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.