( තිළිණි ද සිල්වා )
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව වුවද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.
මේ වනවිටත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 50,000කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ලියාපදිංචි වී ඇති තවත් සෙසු පිරිසද ඉදිරි දිනවලදී දිවයිනට රැගෙන ඒමට පියවර ගන්නා බවද සාචංරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් පැමිණිය ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පැමිණෙන ගුවන්යානාවලට ප්‍රමුඛතාව හිමිවන බවත් පෙන්වා දුන් සංචාරක අමාත්‍යවරයා , සංචාරකයින්ට රට විවෘතකරන බව ප්‍රකාශ කිරීමත් සමග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රමිකයින් අතර අනියත බියක් පැතිරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.
ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි සේ කලබල වී , ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කලාට පසු තවත් කොරෝනා පොකුරක් බිහි විය හැකි බවතට යහපාලන ආණ්ඩුවේ හිටපු පිරිස් සිදු කරන අසත්‍ය ප්‍රචාර වලට ජනතාව තවදුරටත් ඇන්දවිය නොහැකි බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය නිසා යැපෙන මිලියන 2.5 කට ආසන්න පිරිසක් පසුගිය මාස 10 ක කාලය තුල දැඩි පිඩාවට පත්වු අතර කොවිඩ් වසංගතය නිසා රටක් හැමදාමත් වසා තැබිය නොහැකිබවද හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩුව ගුවන්තොටුපල විවෘත කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්නේ ඉතා විධිමත් සැලැස්මක් අනුව බැවින් ගුවන්තොටුපලට පැමිණිමේ සිට ඔවුන් ආපසු සිය රට බලා යන තුරුම සෞඛ්‍ය හා සංචාරක අංශ අධීක්ෂනය යටතේ එය සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

