
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොදු දුරකථන අංකය හා පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍ෂණික දුරකථන අංකය වෙනුවෙන් ගෙවිය යුතු දුරකථන ගාස්තු නොගෙවීම නිසා, විසන්ධි කරන ලද ප්‍රධාන දුරකථන අංක සඳහා මේ වනතුරුත් යළි සබඳතා ලබා දී නැත.
පැය විසිහතර පුරා ක්‍රියාත්මක 1989 කෙටි දුරකථන අංකය හා කාර්යංශයේ පොදු දුරකථන අංකය වන 0112880500 යන දුරකථන දෙක මෙසේ විසන්ධි කර ඇති අංක අතර වේ.
1989 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අංකයකි. පොදු දුරකථන අංකය වන 0112880500 අංකය කාර්යංශයේ සියලු අංශ සම්බන්ධකර ගත හැකි අංකයකි. එය ද 1989 ට සම්බන්ධ කර ඇති අතර එම අංකය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම විසිනි.
මෙම දුරකථන අංක විසන්ධි කිරීමෙන් පසු ඒ සඳහා වන රුපියල් 575,000ක් කාර්යංශය විසින් ගෙවා ඇතත් එම දුරකථන අංක කෙටි අංකයට සම්බන්ධ කර ඇති බැවින් මේ වනතුරුත් යලි සම්බන්ධතාව ලබා ගත නොහැකි වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට වෙසෙන විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද විවිධ උවමනාවන් සඳහා කාර්යංශය අමතන අතර ඒ සඳහා බොහෝ විට මෙම දුරකථන අංක දෙක භාවිතා වෙයි.
මේ තත්ත්වය යටතේ කාර්යංශයේ කටයුතු අද(05) දවස තුළ අඩාල වූ බව කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

