විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කෝටි 13 ක වංචා


(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇත.

එම සමයේ යම් මූල්‍ය අක්‍රමිකාතාවක් වී ඇත්දැයි සොයා බැලීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල වාර්තාවේ මේ බව සඳහන් වේ.

එම වාර්තාව ඉකුත් 23 වැනිදා රාජ්‍ය අමාත්‍යවරයා වෙත අමාත්‍යංශයේ දී එම කමිටුවේ සාමාජිකයින් විසින් භාරදෙනු ලැබීය.

මෙම කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇති කරුණු අතර රන්පියාපත් වැඩසටහනේ දී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි ද සම්මත ක්‍රමවේදයට බැහැරව වාහන විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ද, සම්මත පටිපාටියට බැහැර අන්දමින් සභාපතිවරයාට වාහනයක් ලබාගෙන ඇතැයි ද, හෙළිවී තිබේ.

එමෙන්ම නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදා ගැනීම්, අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු විසින් ගාල්ලේ කාර්යංශ කාර්යාලයක් ආරම්භ කීරීම වැනි සිද්ධීන් පිළිබඳව ද වාර්තාවේ සඳහන් ව ඇති අතර මෙම කරුණු පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

අක්‍රමිකතා සිදුකළ පුද්ගලයින්ගෙන් එකී මුදල් නැවත අයකරගැනීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඉක්මණින්ම මෙම වාර්තාව ගැන පියවර ගන්නා බව ද කියා සිටියේය.

මෙම අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් වූයේ නීතිඥ රඛිත අබේගුණවර්ධන, නීතිඥ දුෂ්මන්ත තොටවත්ත සහ නීතිඥ තුෂාරි සූරියආරච්චි යන මහත්ම මහත්මීහු වෙති.