පාසල් සංවර්ධන සමිති රැස්වීමේදී පාසල් දරුවකුගේ පියකුට සංවර්ධන සමිති කාරක සභාවට පත්වීමට ඉඩ නොදී බැන වැදී අපහාස කළැයි කියන ගම්පහ පාසලක විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
පාසල් ආදි ශිෂ්‍ය සංගමයෙන් මසකට රුපියල් පනස් දහසක දීමනාවක් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර නොකර ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශනයේ දී අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීමේදී පාසලේ පියකුගේ නමක් එහි කාරක සභාවට යෝජනා කර ස්ථිර කරන්නට යද්දී ඔහුට එම තනතුරට ඒමට තමා ඉඩ නොදෙන බව කියමින් දෙමාපියන් 2000ක් පමණ ඉදිරිපිට පැය බාගයක් පමණ බැණ වැදුණු බවට අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබේ.
එමෙන්ම පසුගියදා රන්ටැඹේ පැවැති ශිෂ්‍ය භට තූර්ය වාදක තරඟාවලියට පාසලේ නොවන දෙදෙනකු පාසල් සිසුන් දෙදෙනකු සේ ඉදිරිපත් කර ඇතැයි ද, ඊට අත්සන් කර ඇත්තේ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු යැයි ද, මෙම නියෝජ්‍ය විදුහල්පතිට ස්ථාන මාරුවක් මෑතකදී ලැබුණත් එය යළි සකසා ගෙන ඇතැයි ද අධ්‍යාපන ලේකම්වරයාට පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යංශ ආරංචි සදහන් කරයි.
මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත්දැයි විමසූ විට අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරී කල්ප මහතා කීවේ තවම චෝදනා පත්‍රයක් නිකුත් කර නැති බවයි. විමර්ශනයක් පැවැත්වෙන බව ද ඔහු කීවේය.