පිළිකා රෝගයකින් පීඩා විදි සිය පියා අහිමිවී, ඉඩම හා නිවස උගසට සින්න වී අසරණ වු පාසල් දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් මුදල් එකතුකොට උගස නිරවුල් කොට එම නිවසේ ඔප්පුව ඔවුන් අතට පත්කිරීමට ගම්පහ ඉඹුල්ගොඩ සුනේත‍්‍රා දේවී කණිෂ්ඨ විදුහලේ සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ.
පියා මිය ගිය පසු උන් හිටි තැන්ද අහිමි වී පාසල් ගමනද නතරවන තත්වයකට පත්ව සිටි අනුජ ඉමල්ක රූපසිංහ සහ නේත‍්‍රා මිනෝලි රූපසිංහ යන දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් එකතු කර පරිත්‍යාග කරන්නට මේ පුංචි මිතුරෝ සමත් වුහ.
අනුජ එම විදුහලේ පස් වැනි ශ්‍රේණියේත්, ඔහුගේ නැගනිය නේත‍්‍රා දෙවැනි ශ්‍රේණියේත් ඉගෙනුම ලබන දක්ෂ දරුවෝ වෙති.
පියා මිය ගිය පසු පාසලට පැමිණ ඉතා කනස්සල්ලෙන් මෙන් කාලය ගත කළ අනුජගේ දුක් මුසු ස්වභාවය පිළිබඳ විමසු දරුවෝ ඔහුගේ නිවස උගසට සින්න වීම පිළබඳ පීඩනයකින් පෙළෙන බව දැනගත්හ.
පසුව අනුජ සිය පුංචි මිතුරන් හට පවසා තිබුනේ පිළිකා රෝගයකින් පෙළෙන තම පියාගේ බෙහෙත් හේත් සඳහා තම නිවස සහ ඉඩම උගස් කොට ඇති බවයි. තම මව ඉතාමත් අසරණවී සිටින බැවින් පාසල් ගමන නතර කිරීමට සිදුවන බවත් අනුජ කීවේය.
මෙම කුඩා දරුවෝ අනුජගේ පන්ති භාර ගුරිවරිය වු එස්.බී.පී සමරසිංහ මහත්මියට ඔහුගේ අසරණ බව මුලින්ම පවසා ඇත. පසුව විදුහල්පති ඇම්.ජී රන්බංඩා මහතා සහ ඇදුරු මඩුල්ල පාසලේ සියලූ දරුවන් සමග එක්ව අනුජගේ පියා මියගොස් මාස තුන ඉක්මයාමට මත්තෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් එකතු කර ගැනීමට සමත් වුහ.
රුපියල් දෙලක්ෂ පනස් දහසක් ගෙවා ඉඩමේ ඔප්පුව නිරවුල් කර එය ඔහුගේ මවට පිරිනැමුහ. ඉතිරි මුදලද අනුජගේ සහ නැගනියගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් කරගෙන යාමට ලබා දුන්හ.
අනුජගේ පියාගේ තුන් මාසයේ දානය අද(07) දිනට යෙදී ඇති අතර එහි කටයුතු වලටද එම විදුහලේ ආචාර්ය මණ්ඩලයේ සහ දෙමව්පියන්ගේ සහයෝගය ලබා දීම නිසා අද අනුජ සහ නැගිණිිය අද ඉතා සතුටින් සිටිති.
අපි එම දරුවන්ගේ නිවස සොයා ගියෙමු. අනුජගේ මව පත්මා කුමාරි ඒකනායක මහත්මිය එහි සිටියාය. බොහෝ දුක් කම්කටොලූ රැසකට මුහුණ දුන් මවකගේ වේදනාව ඇගේ දෙනෙතෙහි මෙන්ම මුහුණේ ද ලියැවී තිබුණි.
දීර්ඝ හුස්මක් ඉහළට ඇදගනිමින් ඇය අප හා හැඟීම් ඇගේ කතාව ඇරඹුවාය.
’‘මගේ සැමියා තුෂාර චමින්ද නාවික හමුදාවේ වැඩ කළේ. දැනට වසර හතරකට කලින් ඔහුගේ රැකියාව නැති වුණා. ඉන් පසු ඔහු පෞද්ගලික අංශයේ සුළු රැකියාවකට ගියා. ඒ වැටුප පවුල නඩත්තු කිරීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැහැ. ආර්ථික ප‍්‍රශ්න ගොඩක් තිබුණා.
පසුගිය 2012 වසරේ ඔහු හදිසි අනතුරකට පත් වුණා. බරපතල තුවාල ලැබු ඔහුගේ පාදයක් බිඳී ගියා. මාස ගණනාවක් ඔහු රෝහලේ හිටියා. ඔහු රෝහලෙන් ගෙදර ආවේ ඇවිදීමට පවා නොහැකිවයි. ඔහු එක් තැන් වුණා. මම දරුවන් දෙන්නත් එක්ක හොඳටම අසරණ වුණා. බොහෝ දිනවල දරුවන් පාසැල් ගියේ නැහැ.
ඒත් පුතාගේ යාළුවන් පුංචි උනත් අපිට ගොඩක් උදව් කළා. ඒ දරුවන්ට ඒක පාසලෙන් ලබා දීපු පුරුද්දක් වෙන්න ඇති. දරුවන්ගේ කීමට දෙම්ව්පියන් පවා අපිව බලන්න ආවා. විදුහල්පති තුමා ඇතුළු ගුරුවරුන් අපිට පිහිටවෙන්න කියා දෙමව්පියන්ව උනන්දු කළ බව මා දැනගත්තා.
මේ පාසලේ දරුවන් අපිට මුදලින් ආධාර උපකාර කළා. පොත් පත් පමණක් නොවෙයි වියළි ආහාර ද්‍රව්‍ය පවා ලබා දුන්නා. ඒ මුදල් වලින් අනුජගේ තාත්තට සිංහල වෙදකම් කළා. ඔහු සුව වුණා. ඉන් පසු ඔහු සුළු රැකියාවක් කළා.
දරු දෙන්න නැවතත් සතුටින් පාසල් ගියා. කොච්චර අගහිග කම් තිබුනත් අපේ පවුලට නැවතත් සතුට ගලා ආවා. ඉන් පස්සේ හරියටම අවුරුද්දකින් සැමියට උණ රෝගයක් වැළදී රෝහල් ගත කළා. නොයෙකුක් පරික්ෂණ කළා. එහිදී ඔහුටු දරුණු පිළිකා රෝගයක් වැළදී ඇති බව දැනගත්තා.
අපේ පවුලේ සතුට නැවතත් සේදි ගියා. අනුජගේ පුංචි යාළුවන් නැවතත් උදව් කළා. ඒ මුදල් වලින් බෙහෙත් කළා. අගහිගකම් නිසා ගේයි ඉඩමයි උගසට තියා රුපියල් දෙලක්ෂ පනස්දාහක් ගත්තා. පොලිය මාසෙකට දහතුන්දාහක් ගෙවන්න වුණා. දරුවන්ගෙන් මේ දේවල් වසන් කරගෙන හිටියේ. මහත්තයා සනීප කරගන්නයි ඒ වගේ අවදානම් දෙයක් කළේ. හැම ශතයක්ම වියදම් කළේ ඔහුව බේරගන්න.
ඒත් ඔහු මිය ගියා. පවුලේ අගහිකම් තවත් වැඩි වුණා. ගෙදර ගොඩක් අඩුපාඩු ඇති වුණා. දරුවෝ දෙන්නා බලා ගත් අත බලාගෙන හිටියා. ඔවුන් පාසල් ගියේ කඩින් කඩ.
දවසක් පොලියට මුදල් දුන් අය අප සොයා පැමිණියා. නිවසයි ඉඩමයි උගසට තියල මුදල් ගත්ත බව අනුජ පුතා දැනගත්තා. ඔවුන් කීවා මාස තුනක් ඇතුළත මුදල් ලබා දෙන්න කියා.
පුංචි අනුජගේ සිතට මේ දේ දරා ගන්න බැරි උනා. ඔහු විටින් විට අසනීප වුණා. පාසැල් යන්න උනේ කඩින් කඩ. ඔහු බලා ගත් අත බලාගෙන හිටියා. ඔහුගේ මානසික තත්වය හොදටම ඇද වැටුණා. ඔහු ගෙදරින් පාරට බහින්න වෙයි කියා බයේ හිටියේ. අපිට පිහිටවෙන්න කව්රුත් හිටියේ නැහැ.
මේ අතරේ දවසක් මට පාසැලෙන් පණිවිඩයක් එවලා තිබුණා. පුතාගේ පන්ති බාර ගුරුතුමිය විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලය කිව්වා ළමයින් සල්ලි එකතුකරනවා ගේයි ඉඩමයි බේරගන්න කියා. මට වගේම මගේ දරුවන්ටත් සැනසීමක් ඇති වුණේ එදා.
පසුගිය දිනක ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.කේ මල්ලව ආරච්චි මහත්තයත් කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක සුසන්ත ගුණතිලක මහත්තයත් පාසලට ඇවිත් ඉඩම නිරවුල් කර ඔප්පුව මගේ අතට ලබා දුන්නා.
දැන් මගේ දරුවන් හරිම සතුටින් පාසල් යනවා. විදුහල්පති තුමාට, ගුරුවරුන්ට, දෙමවිපියන්ට, අසල්වාසීන්ට, දරුවන්ට මේ හැමටම පින් අයිති වෙනවා පාරට බහින්න හිටි අපිට ඉන්න තැන යළි ලබා දුන් එකට යැයි කියමින් ඇය සැනසුම් සුසුමක් හෙළුවාය.
ඉඹුල්ගොඩ සුනේත‍්‍රා දේවී ප‍්‍රාථමික විදුහලේ විදුහල්පති එම්.ජී රන්බංඩා මහතා හමු උනෙමු.
ඡායාරූපයක් ගැනීමට පවා බොහෝ අකමැති වු එම විදුහල්පතිවරයා පැවසුවේ මේ කිසිදු දෙයකින් ප‍්‍රසිද්ධියක් බලා පොරොත්තු නොවන බවයි. ඔහු නම් අපුරු චරිතයකි. ඔහුගේ දැක්ම වන්නේ පාසලින් ප‍්‍රජාවට යමක් විය යුතු බවයි. එය ඔහු වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද පෙන්වා ඇති උතුම් පුද්ගලයෙකි.
ඔහුගේ දැක්ම අනුව මෙම ප‍්‍රදේශයට පාසැලෙන් සිදු වු ප‍්‍රජා සේවා බොහෝය. දෙමව්පියන්ට බරක් නොදී ඔවුන්ගේ සිත් පහන් කරන්නට මේ පාසල දායක වී ඇති අන්දම විශ්මය දනවන සුළුය.
ඔහු පවසන්නේ දෙමව්පියන් ලවා පාසලේ සියළු අවශ්‍යාතා සපුරා ගැනීම නවතා අන් අයට උදව් කිරීම දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද හුරු කිරීමෙන් ප‍්‍රජාවගේ ද සහයෝගය ලබා දෙමව්පියන්ට බරක් නොවී පාසල දියුණු කර ගත් බවයි.
අද ඔහු එය ක‍්‍රියාවෙන් ඔප්පු කර ඇත. මින් වසර පහකට පෙර ප‍්‍රදේශයේ නැති බැරි පවුලකට රුපියල් ලක්ෂ හතක වියදමින් නිවසක් තනා දීමට මේ අයුරින්ම මෙම පාසල ක්‍රියා කළේය.
පසුගිය 2013 වසරේ කාත් කව්රුත් නැතිව අසරණව උන් හිටි තැන් අහිමිව ගිය කාන්තාවකට ද රුපියල් ලක්ෂ තුනක් වියදමින් නිවසක් සාදා දී ඇත.
දෙමව්පියන්ගේ සිත් මෙන්ම ගම් වැසියන්ගේ සිත්ද ප‍්‍රජා සේවා සඳහා යොමු කිරීමට විදුහල්පති සමත්වී ඇත්තේය.වසර 12 ක් පුරා ඔහු ඒ වෙනුවෙන් කර ඇති කැපවීම් අන්නතය.
මීට වසර 12 කට පමණ පෙර මෙම පාසලේ විදුහල්පතිවරයා ලෙස ඔහු මෙහි පැමිණෙන විට මෙය දරුවන් 46 දෙනෙකු අධ්‍යාපනය ලබන වැසී යාමේ අවදානමකට ලක්ව තිබු දුෂ්කර පාසලකි.
ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසැල් වලට තම දරුවන් ඇතුළු කිරීමට හැකියාව තිබියදී විදුහල්පතිවරයා ඔහුගේ දරුවන් දෙදෙනාද මෙම පාසලටම ඇතුළත් කර ගම්වාසීන්ටග් විශ්වාසය තහවුරු කර ඇත්තේ කෙසේ හෝ පාසල දියුණු කරන අදිටනිනි.
මේ වන විට එකේ සිට පහ ශ්‍රේනිය දක්වා පන්ති පවත්වන මෙහි අද දරුවෝ 500ක් පමණ උගනිති.
ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ රජයේ පාසැල් අතුරින් මෙවර පහ වසර ශිෂ්‍යත්ව ප‍්‍රථිපල වලින් ප‍්‍රථම ස්ථානය ලබා ගෙන ඇත්තේද මෙම පාසැලයි.
එමෙන්ම සමස්ත ලංකා නර්ථන තරගාවලියන්ගෙන් 2005 සිට 2013 වර්ෂය දක්වා අඛන්ඩව ජයග‍්‍රහණ හිමිකරගෙන ඇත. 2014 වසරේ සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් ප‍්‍රාථමික අංශයේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමටත් මෙම විදුහල සමත්ව ඇත.
පාසැලට පිවිසෙන මග දෙපස දෙපස අලංකාරව මල් වවා ඇත. පාසැල ඇතුලත ඉතා සිසිල් බවකින් යුක්තය. දැහැන් ගත වී අධ්‍යාපනය ලැබීමට සුදුසු සුන්දර පරිසරයක් එහි අද නිර්මාණය කර ඇත.
තම පාසලට පමණක් නොව ප‍්‍රදේශයේ සෙසු පාසල් හි අවශ්‍යතා ඉටු කිරීමට තරම් නිහතමානී විදුහල්පතිවරයෙකු ඇතුළු ආචාර්ය මණ්ඩලයක් සිටිම ඇත්තටම දරුවන්ගේ මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවගේ වාසනාවක් බව බොහෝ ගම්වැසියෝ කියති









