විදුලි බිල සංශෝධනයෙන් ලක්ෂ 17කට වාසි


(අංජුල මහික වීරරත්න)

මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන මුල් ඒකක කාණ්ඩයත් හෝටල් ක්ෂේත්‍රයේත් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලි ඒකකයක මිල අඩුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

විදුලි බිල සංශෝධනය ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී මෙම කාණ්ඩ දෙකෙහි මිල අඩුවීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන කාණ්ඩයට ලක්ෂ 17 ක පමණ පිරිසක් ඇතුලත්ව ඇති අතර විදුලි බිල වැඩි කිරීමත් සමඟ විදුලිය භාවිතා කිරීමද යම් ප්‍රමාණයකින් පහල ගොස් ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙලිව තිබේ.

ඩොලරයේ අගය පහත වැටීම හා ඉන්ධන හා ගල් අගුරු ආනයනයේදී වැය වන පිරිවැය අඩුවීම යන කාරණා පදනම් කර ගනිමින් මෙලෙස විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීන්දු කර ඇත.

හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිලට 40% ක පමණ සහනයක් හිමිවනු ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.