දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන විට දකුණේ සිංහල නායකයින් එය ජාතිවාදය ලෙස දැකීම කනගාටුදායක කරුණක් බව උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය
එම ජාතිවාදය පදනම් කරගෙන තම ජීවිතය පවා නැති කිරීමට ඔවුන් උත්සහ දරන්නේ යැයිද හෙතෙම චෝදනා කළේය
යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකුද වන එන්.තිරුනාකරසු මහතා විසින් රචිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (ඩොනමෝර් පටන් යෝජිත සිරිසේන ව්‍යවස්ථාව (1931-2016) ග්‍රන්ථය එළිදැකිවීමේ උත්සවය යාපනයේදී පැවති අතර මෙම උත්සවය වෙනුවෙන් යවන ලද සුබ පැතුම් පණිවුඩයේ මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.
“දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබදව එනම් ඔවුන්ගේ පාරම්පරික නිජබිමේ පදිංචි වීමත් එහි කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමත් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමට පියවර ගැනීමත් හමුදා බලපෑම්වලින් තොරව නිදහසේ ජීවත් වීමටත් කරන සටන් හා ඉල්ලීම් සිංහල නායකයින් වැරදි ලෙස අර්ථ කථනය කරමින් ජාතිවාදය ඇවිළ වීමට උත්සහ දරනවා.“
“ඔවුන් එසේ කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන දෙමළ දේශපාලකයින් සිරගත කළ යුතුයි. හඬ නඟන දෙමළ ජනතාව ඉන්දියාවට පළවා හැරිය යුතුයි යැයි සමහර සිංහල දේශපාලකයින් ප්‍රකාශ කරමින් සිටිනවා.“
එබැවින් ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම දෙමළ ජනතාව ජාති කුලභේදයකින් තොරව උතුරු නැගෙනහිර කොළඔ වතුකරය යන භේදයෙන් තොරව දෙමළ ජනතාවගේ අයිතීය වෙනුවෙන් හඬ නැඟිය යුතු කාලය එළඹ ඇති බවද විග්නේෂ්වරන් මහතා එම ලිපියේ සදහන් කර ඇත