විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි


එෆ්.අස්ලම් සහ රොමේෂ් මධුසංක

 

තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කටයුතු කරන මෙම සන්ධානය ඉදිරි පළාත් සභා මැතිවරණයට ද තරග කරන බව මහ ඇමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

විග්නේෂ්වරන් මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අද (24) යාපනය නල්ලූර් පරමේෂ්වරී ශාලාවේ පැවති අතර මෙහිදී සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ ඇමැතිවරයා මෙසේ පැවසීය.

මෙම සන්ධානය සමගින් උතුරු පළාත් වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිතරන් විසින් මෑතකදී ආරම්භ කළ ඊල මක්කල් සුයාට්චි කලහම්,දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය,දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද එක්වීමට නියමිතව ඇතැයි පැවසේ.