විකාශන අධිකාරි නව පනත භාෂණයේ නිදහස අහිමි කරනවා


(යොහාන් භාසුර)

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන විකාශන අධිකාරි පනත මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස අහිමි කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන අසාර්ථක උත්සහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (31) පැවසීය.

අධිකාරි පනතේ දළ සැකැස්ම බැලූ බැල්මටම කිසියම් වූ විධිමත් කතාබහක් හෝ සාකච්ඡාවකින් තොරව ඉතා පටු සිතුවිලි රටාවක කොටුවී සැකසූ ලියවිල්ල් ලෙස හඳුනාගත හැකි බව කියන චරිත හේරත් මහතා එය පනතකට අදාළ පුළුල් දැක්මක් හෝ නිශ්චිත ඉදිරිපත් කිරීම්වලින් හෝ අර්ථදැක්වීම් වලින් තොර කිසියම් වූ විශ්‍රාමික මනසකින් සැකසූ ඉතා ප්‍රාථමික ලියවිල්ලක් ලෙස දැක්විය හැකි බව ද සඳහන් කළේය.

මෙම පනත සැකසීමේදී පවතින කර්මාන්තයක් ලෙස හඳුනා නොගෙන අලුතින්ම රට තුළ මාධ්‍ය ක්ෂේත්‍රය ස්ථාපිත කරන්නාක් මෙන් කටයුතු කර ඇති බවත් මෙය සෘජුවම භාෂණලේ නිදහස හකුන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඒ මහතා කීය.

මෙහි 3 වැනි වගන්තියේ විකාශන අධිකාරී කොමිසමේ සංයුතිය සහ එහි පත්කිරීමේ සැලැස්ම විග්‍රහ කරන බව කී මහාචාර්යවරයා එහි ඝණපූර්ණය ලෙස සභාපතිවරයා ඇතුළු තිදෙනෙක් ලෙස නම් කර අමාත්‍යංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිල බලයෙන් පත්වීමට නියමිත බව ද සඳහන් කළේය.

ඝණ පූරණය තිදෙනෙක් වීම නිසා සභාපතිවරයා සහ නිලධාරීන්ට එක්ව ඕනෑම තීන්දුවක් ගැනීමට හැකිවීම ඉතාම දුර්වල සහ නැවත නැවතත් සංවාදයට බඳුන් කළ යුතු තත්වයක් බව කී ඒ මහතා පැවසුවේ ඕනෑම නාලිකාවකට එරෙහිව ඉතා සීමිත සහිත පුද්ගල සංඛ්‍යාවක් එක්ව තීන්දු කිරීම ඉතාම නුසුදුසු කටයුත්තක් ලෙස දැක්විය හැකි බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (31) එසේ පැවසීය.