වැස්සෙන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට


(ඩයනා උදයංගනී)

දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම් සහ හැමූ සැඩ සුළං හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් හතරකට අයත් 100,000 කට  අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුරු, මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වල දිස්ත‍්‍රික්ක නවයකට බලපා ඇති මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 33,012 කට අයත් 1,03,062 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර මරණ දෙකක්ද වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඉන් අවතැන් වූ පවුල් 3,374කට අයත් 10,783 දෙනෙක් මේ වන විටත් ආරක්‍ෂිත ස්ථාන 35 ක රඳවනු ලැබ සිටින බව එම ප‍්‍රකාශකයා කීවේය. 

උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත‍්‍රික්කවලට, මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත‍්‍රික්කවලට, වයඹ පළාතේ පුත්තලම සහ බස්නාහිර පළාතේ ගම්පහ යන දිස්ත‍්‍රික්කයට මෙම ජල ගැලීම් තත්ත්වය බලපා තිබේ.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්ටය.කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පවුල් 18,670 කට අයත්, 57,881 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර ඉන් අවතැන් වූ පවුල් 1,760 කට අයත් 5,744 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 17 ක රඳවනු ලැබ සිටිති.

මීට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ පවුල් 9,574 කට අයත් 30,499 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් අවතැන් වූ පවුල් 1,566 කට අයත් 4,889 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 11ක රඳවනු ලැබ සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

යාපනය දිස්ත‍්‍රික්කයේ පවුල් 4,257කට අයත් 12,642 දෙනෙක්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ පවුල් 152 කට අයත් 516 දෙනෙක්, සහ මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවුල් 39කට අයත් 141 දෙනෙක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ ද පවුල් 199කට අයත් 890 දෙනෙක්, මාතලේ දිස්ත‍්‍රික්යේ පවුල් 7කට අයත් 23 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ පවුල් 12කට අයත් 52 දෙනෙක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රිකක්යේ කටාන, අත්තනගල්ල, මීලමුව සහ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපෑ තද සුළ`ගක් හේතුවෙන් නිවෙස්වලට හානි වීමෙන් පවුල් 102කට අයත් 418 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ එම ප‍්‍රකාශකයා කීවේය.

මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 143 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 3,292 කට අර්ධ හානි සිදුව ඇති බව ද ඔහු කීවේය.