වැස්ස නිසා මාතලේ ලොකු ලූනූ ගොවීහු කබලෙන් ළිපට


(කාංචන කුමාර ආරියදාස)


පවතින වර්ෂාවත් සමඟ දඹුල්ල, ගලේවෙල , සිගිරිය , හබරණ, නාඋල, ලග්ගල ආදී ප්‍රදේශවල ලොකු  ලූනු අස්වැන්න නෙලා ගැනීමට නොහැකිව කුණුවී විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති.


අස්වැන්න නෙලා ගැනීමට දින කිහිපයක් තිබියදී එකදිගට  ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ලූනු වගාවන් දැඩි ලෙස විනාශ වී පිලිස්සී කුණුවී ගිය බව ගොවීහු කියති.


සීගිරිය දඹුල්ල වෑවලවැව ගලේවෙල ආදී ප්‍රදේශවල විශාල වශයෙන් දේශීය ලොකු ලූණු  අස්වැන්න ගැලවීමකින් තොරව අතහැර දැමීමට සිදුව ඇතැයි එම ගොවීහු පෙන්වා දෙති.


එමෙන්ම ගලවා ඇති ලොකු ලූණු තොග ද වර්ෂාවත් සමඟ කුණුවී විනාශ වෙමින් පවතින බව ගොවීන් පෙන්වාදෙති. මෙසේ විනාශ වන ලොකු ලූනූ තොග විශාල වශයෙන් තැන තැන ඉවත් කිරීමටත් වලවල් වලට  දමා විනාශ කිරීමත් ගොවීන් විසින් සිදු කරති.


ගොවීන් කියා සිටියේ  පසුගිය කන්නෙත් ඊට පෙර කන්නයේ මෙවරත් එක විදියටම අස්වැන්න නෙලා ගැනීමට නොහැකිව වර්ෂාවත් සමඟ තම අස්වැන්න විනාශ වූ බවය.


දේශීය ලොකු ලූනු ගොවියාට සිදුව ඇති මෙම තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු නොපැමිණි බවද ඔවුහු පවසති.  


පසුගිය වසරේද මේ ආකාරයෙන් ම දේශීය ලොකුලූනු විනාශ වී යාමත් සමග හබරණ පුවක්පිටියට ප්‍රදේශයේ   ගොවියකු සිය දිවි හානිකර ගැනීමක් ද වාර්තා වී තිබිණි.


මෙම ගොවීන් ද කියා සිටින්නේ අත කනකර බඩු උගසට තබා දරුවන්ගේ කනකර බඩු ද මෙවර උගසට තබා දේශීය ලොකු ලූණු වගාව ආරම්භ කළ බවය.

ඉතාමත් සරුසාර අස්වැන්නක් මෙවර ලැබී තිබෙනු දැක ගැනීමට හැකි වූ බවත් එහෙත් අස්වැන්න නෙලීමට දින දහයක් පමණ තිබියදී එක වරම ඇදහැලෙන පටන් ගත්ත වර්ෂාවත් සමඟ තම වගාවන් සියල්ල විනාශ වූ බවය.


තම  වගාවන් විනාසය සඳහා වන්දි මුදලක් හෝ ලබා දෙන  ලෙසත් එසේත් නොමැති නම් තම ණය තුරුස් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කරන ලෙස ගොවීහු ඉල්ලා සිටිති.