වැස්ස නිසා තරගය දෙවැනි දිනයටත් ඇදෙයි


බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (7 වැනිදා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය හෙට දිනයේත් පැවැත්වීමට විනිසුරුවරු තීරණය කළහ.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් නතර කරන ලද තරගය අද දිනය තුළ නැවත ආරම්භ කළ නොහැකි විය. තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල  ඕවර 19 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය. මෙම තරගය සඳහා අතිරේක දිනයක් ඇති බැවින් තරගය නතර කළ තැනින් හෙට ආරම්භ කිරීමට නියමිතය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් කොදෙව්වෝ ලකුණු 10 ක් තුළ ශී‍්‍ර ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් කල්වේලා ඇතිවම තරගයේ වාසිය සියතට ගත්හ.

උපුල් තරංග (7), මහේල ජයවර්ධන (7) සහ දිනේෂ් චන්දිමාල් (2) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගිය අතර කෙමර් රෝච් කඩුලූ දෙකක් දවාගත්තේය.
තරගයේ 3 වැනි  ඕවරයේදී, ඒ වන විට ලකුණු 5 ක් ලබා සිටි උපුල් තරංග දුන් පහසු උඩපන්දුවක් රැකගැනීමට කඩුලූ රකින්නා වූ ජොන්සන් චාල්ස් අසමත් වුවද එයින් නිසි ප‍්‍රයෝජන ගැනීමට ආරම්භක පිතිකරුවා අසමත් විය. ඒ වන විට ශී‍්‍ර ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා කී‍්‍රඩා නොකරන අතර ඔවුන් වෙනුවට ජීවන් මෙන්ඩිස් සහ ශමින්ද එරංග කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. කොදෙව් පිල වෙනුවෙන් ඞ්වේන් බ‍්‍රාවෝ කී‍්‍රඩා නොකරන හෙයින් ජොන්සන් චාල්ස්ද, සුනිල් නරේන් ආබාධයකට ලක්ව සිටින බැවින් වේග පන්දු යවන්නකු වන ජේසන් හෝල්ඩර්ද කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.

 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම

උපුල් තරංග - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර්    7
මහේල ජයවර්ධන - ඇ. ස්මිත් ප. රෝචි    7
කුමාර් සංගක්කාර - නොදැවී    11
දිනේෂ් චන්දිමාල් - ප. රෝචි    2
ළහිරු තිරිමාන්න - නොදැවී    13
අතිරේක             20
එකතුව  ඕවර 19 කදී කඩුලූ 3ක් දැවී    60

කඩුලු වැටීම:  
1-19, 2-19, 3-29

පන්දුවට පහර දීමට ඇති ක‍්‍රීඩකයෝ:
ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක

පන්දු යැවීම:
කෙමාර් රෝචි : 7-2-19-2, ජේසන් හෝල්ඩර් : 5-0-20-1, ඩැරන් සැමී : 4-2-4-0, ටිනෝ බෙස්ට් : 3-0-15-0

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ටිනෝ බෙස්ට්, ඩැරන් බ‍්‍රාවෝ, ජොන්සන් චාල්ස්, ක‍්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, කරන් පොලාඞ්, කෙමාර් රෝචි, ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස්, ඞ්වේන් ස්මිත්, ලෙන්ඩල් සිමන්ස්