ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීමට ස්ථිර විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවති විරෝධතාවයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයයේ ෂමිල රවිශාන් පෙරේරා සිසුවාගේ අවසන් කටයුතු අද(7) සවස වැලිවේරිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කැරිණි.
කතෝලික චාරිත්‍රාණුකූලව යාඥා කර පස්වරු 3.30ට පමණ රවිශාන්ගේ දේහය නිවසින් පිටතට ගනු ලැබීය.
වැලිවේරිය මීසම භාර ලක්සිරි නෝනිස්, උඩුගම්පොල ශාන්ත පීතර විදුහලේ විදුහල්පති චමින්ද වනිගසේකර, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල්පති ට්‍රෙවිස් ගේබ්‍රියල් ඇතුළු කතෝලික පියවරු දස නමක් යාඥා කරමින් කතෝලික පිළිවෙත් සිදු කළහ.
එම පිළිවෙත් අවසානයේ පොලිස් රථයක් පෙරටු කරගෙන දේහය රැගත් අවමගුල් පෙරහර වැලිවේරිය රෝමානු කතෝලික සුසාන භූමියට ගමන් කළේය.
මුළු වැලිවේරිය නගරයම සුදු කොඩිවලින් සරසා තිබිණි. බොහෝ දෙනාගේ දෑස්වලින් කඳුලින් තෙත්වී තිබිණි.
පොලිස් නිල ඇඳුම් ඇඳ සිටි ඇතැම් නිලධරයන්ගේ දෑස්ද කඳුලින් බරවී තිබිණි.
බොහෝ දෙනාගේ මුහුණුවල දුක, ශෝකය, කම්පාව ලියැවී තිබිණි.
උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයයේ තූර්ය වාදක කණ්ඩායම ශෝක තනු වාදනය කරමින් රවිශාන්ගේ දේහය ඉදිරිපිටින් ගමන් කළේය.