වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩීවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණැයි කියමින් කොළඹ මහනුවර මාර්ගය සහ වැලිවේරිය බැලුම්මහර නව නුවර මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයේදී යුද හමුදාව හා ගැමියන් අතර ඇතිවූ ගැටුමෙන් පසු වාහන ගමනාගමනය සඳහා වැලිවේරිය නගරය ඊයේ (2) දහවල් 11ට පමණ විවෘත විය.
ඒත් කඩ සාප්පු වැඩි හරියක් වසා දමා තිබිණි. මේස, පුටු, ටයර් හා වෙනත් දේ පාරට දසමා පුළුස්සා තිබිණි. පොලිසිය ඒවා ඉවත් කළේය. මහජනයාද තැන තැන රැස්වී සිටියහ. වැඩිම පිරිසක් රැඳී සිටියේ වැලිවේරිය ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානයේය.
එහි වස් පස දෙව් මැදුර අබියස ස්තෝප්පුවේ ද, බිත්තිවල ද වහලේ ද තැනින් තැන සිදුරු සැදී තිබිණු අතර තැනිත් තැන ලේ පැල්ලම් ද තිබිණි. පොලිස් සොකෝ නිලධාරීහු එම ස්ථානවලට ගොස් පතුරම් වැටී තිබූ ස්ථාන, ලේ පැල්ලම් තිබූ ස්ථාන අංක යොදා ලකුණු කර ඡායාරූප ගත්හ.
දහවල් 11 වන තෙක් වැලිවේරිය නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර කරමින් පොලිස් හා හමුදා කපොලු යොදා තිබිණි.
නගරයේ හමුදා වාහන, බෆල් රිය, ජල ප්‍රහාරක රථ, හමුදා ගිලන් රථ කිහිපයක් නතර කර තිබූ අතර අඩි දහයෙන් දොළහෙන් පාර දෙපස සන්නද්ධ සෙබළු වූහ.
උදේ 09 පමණ වන තෙක් නගරය සම්පූර්ණයෙන්ම පාළු වී ගොස් තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස් සහ හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (2) උදෑසන වැලිවේරිය පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
උදේ 10ට පමණ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා වැලිවේරිය නගරයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය.
ඇතැම් කඩසාප්පුවලට හානි සිදුව තිබෙනු දක්නට ලැබුණි.
සිකුරාදා (2) අලුයම 2 පමණ වන විට නගරයේ යුද හමුදා සෙබළුන් 200ක් පමණ සිටි අතර නගරයට එන වාහන නවතා ‘කොහෙ ඉඳන්ද ආවේ? කොහෙටද යන්නේ?‘ ආදී ප්‍රශ්න අසා එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් පසු වාහනවලට යාමට ඉඩ ලබා දුන්නේය.
අලුයම දෙක පමණ වට විට යුද හමුදා සෙබළු 60ක් 70ක් පමණ වැලිවේරිය පොලිසිය භූමියේ නිදා සිටි අතර උසස් පොලිස් නිලධාරීහු විටින් විට වැලිවේරිය පොලිසියට ආහ.
පාර මැද ගිනි තබා සහ කඩා බිඳ දමා තිබූ දෑ රාත්‍රී කාලයේ හමුදා සෙබළුන් විසින් ඉවත් කරනු දැක ගත හැකි විය.
වැලිවේරිය දිවි නැගුම සති පෙලේ තිබූ වෙළඳ තට්ටු රැසක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ගිණි තබා තිබිණි.
ගම්වාසීන් පැවසුවේ තමන් ඒවාට ගිනි නොතැබූ බවයි.