වැලිකඩ රැඳවියෝ අද දිවා ආහාරය දන් දෙති


 

(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට බෙදාදීමට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ අද (1) දිවා ආහාරවේල පරිත්‍යාග කර තිබේ.

රැඳවියන්ගේ දිවා ආහාරය සඳහා යොදා‌ ගන්නා  වියළි ආහාර ද්‍රව්‍ය මෙලෙස පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇති අතර, එම වියළි ආහාර ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී, රජිව් එස්. සිල්වා මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් විසින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා වෙත  අද (1) කොළඹ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී බාර දුන්නේය.

වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ රැඳවියන් 3874 දෙනකු  බන්ධනාගාර පාලනාධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ දිවා ආහාරය මෙලෙස පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කෙරිණි.

නාඩු සහල් 750 kg ක්, පොල් ක්‍රිම් පැකට් 50 ක්, කඩල 100 kg ක්, කව්පි 100 kg ක්, මුං ඇට 10 kg ක්, සෝයා මීට් 60 kg ක්, සීනී 100 kg ක්, තේ කොළ 10 kg ක්, මිරිස් කුඩු 10 kg ක්, දිය ලුනු 30 kg ක් සහ  මයිසුර් පරිප්පු 100 kg ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.