(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියේ ප්‍රවාහන බලපත්‍රයේ වැරදි කිපයක්ම තිබෙන බව පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් මේ පිළිබඳ සිදුකළ පරීක්‍ෂණවල දී තහවුරු වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.
වැලි ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කර තිබූ එම බලපත්‍රයේ දෝෂ කිහිපයක්ම තිබෙන බව බැලු බැල්මට පැහැදිලිවම පෙනෙන්ට තිබිය දී අත්අඩංගුවට ගත් වැලි ලොරියත් එහි රියැදුරාත් අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීම බරපතළ ගැටලුවකැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (10) පැවැසීය.
වැලි බලපත්‍රයේ දෝෂ ගණනාවක් තිබියදීත් ලොරිය සහ සැකකරු නිදහස් කිරීම පිළිබඳව තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
මේ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බවද වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට තෙබුවන පොලිස් ස්ථානය අධීක්ෂණය කරන පොලිස් අධිකාරිවරයා ද ඊයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම හෝ තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත වැලි ලොරිය සහ සැකකරු මුදා හැරියේදැයි යන්න හෙළිකර ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා යටතට පැවරීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ඒකකයේ සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් තෙබුවනට පිටත් කර යවනු ලැබීය.
වැලි බලපත්‍රයේ තිබූ වැරදි සොයාගෙන ඇත්තේ තෙබුවන පොලිසියට ගොස් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායම විසිනි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ විශේෂ උපදෙස් මත එහි සහකාර පොලිස් අධිකාරි කිංස්ලි ගුණසේකර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
තමා විසින් අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් උසාවියට ඉදිරිපත් නොකර ඉහළ නිලධාරීන් විසින් නිදහස් කරන ලදැයි කියමින් තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන ඉකුත් 03 වැනිදා දහවල් සිය රාජකාරි ගිනි අවිය ද රැගෙන තෙබුවන නගරයේ පැය දෙකකට ආසන්න කාලයක් ඊට විරෝධය පළකර තිබිණි.
මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූ අතර මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබීය.
පොලිස් සැරයන්වරයාගේ සේවය ද මේවනවිට අත්හිටුවනු ලැබ ඇත.