වැලි ලොරි රාජ සන්තක කරන්න බෑ


පතල් හා ඛනිජ සම්පත් පනතේ යන්ත්‍රෝපකරණ (මැෂිනරි) හා උපකරණ (ඉක්විප්මන්ට්) යන යෙදුමට වාහන අයත් නොවන බව අභියාචනාධිකරණය  තීන්දු කළේය.

ඒ ඩබ්ලිව් ඒ සලාම් හා සුනිල් රාජපක්ෂ යන විනිසුරුවරුන්ගේ මෙම තීරණය නීති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සිද්ධියක් බව නීති විශාරදයෝ කියති.

වැලි ප්‍රවාහනය කළ වාහන රාජ සන්තක කිරීමට එරෙහිව එම් සී නිෂාන්ත, පී එන් විජේපාල හා ඩබ්ලිව් ඉන්දික රුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම තීන්දුව ඉවත් කරන ලෙසයි.

පතල් හා ඛනිජ සම්පත් පනතේ දැක්වෙන ‘මැෂිනරි‘ හා ‘ඉක්විප්මන්ට්‘ ගණයට වාහන ඇතුළත් නොවන බව එම් සී මුනීර් හා චතුර ගල්හේන යන නීතීඥවරු තර්ක කළහ.

ඔවුන් කියා සිටියේ මහේස්ත්‍රාත් උසාවියෙන් තම වාහන රාජ සන්තක කළ බවයි. ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල මහාධිකරණයෙන් නිශ්ප්‍රභ කළ බව ද ඔවුහු කීහ.