ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මිය යාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් පාර්ශවයට කිසිදු යුක්තියක් ඉටුවී නැති බවත් පසමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ඇතුළු පිරිසක් අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී අදහස් දැක්වූ මිය ගිය ප්‍රසන්නගේ බිරිය නිශාමනී මුණසිංහ මහත්මිය ජනවාරි 4 වැනිදා සිදුවූ සිදුවීම මාධ්‍ය හමුවේ විස්තර කළාය.
‘අපේ ගෙදර ඉස්සරහ ගොඩනැගිල්ලේ උත්සවයක් තිබුණා. අපිටත් ආරාධනා ලැබුණා. මට දරුවකු ලැබෙන්න සිටි නිසා මහත්තයා උත්සවයට ගිහින් හිටියා. රෑ 11.15 ට විතර දුව නිදි කරවලා මම නිදාගන්න ලෑස්ති වුණා. 11.30 ට විතර ලොකු ශබ්දයක් ඇහුණා. ‘අත ඇරපල්ලා‘ , ‘යන්න දීපල්ලා‘ කියලා පිරිසක් කෑගහනවා ඇහුණා. මම දුවත් ඇහැරවාගෙන දුවගෙන ඒ පැත්තට ගියා. ඒ සාදය තිබුණු ගොඩනැගිල්ල ඉස්සරහ ගොඩක් අය ගහගන්නවා දැක්කා. පොලිස් ජිප් එකකුත් නතර කර තිබුණා. පොලිස් නිල ඇඳුමෙන් කවුරුවත් හිටියේ නෑ. පොලුවලින් බිම දාගෙන කට්ටියට ගහනවා දැක්කා. මහත්තයා හොයාගෙන මම ඇතුළට ගියා. සාදය තිබූ ගොඩනැගිල්ලේ පඩිපෙළ අයිනට ගියා. මහත්තයා හිටියේ නෑ. ඒ ගෙදර අයිති මාමයි නැන්දයි ඇදගෙන උඩට එක්ක යනවා දැක්කා. එයාලාගේ වයස බලන්නේ නැතිව තිරිසන් විදියට සැලකුවා. මහත්තයාගේ කට හඬ ඇහිලා උඩට ගියා. මහත්තයා එයාලට බැන්නා. තිරිසන් වැඩ කරන්න එපා කියලා. නීතිය හරි විදියට කරන්න කිව්වා. එතන සිවිල් ඇඳුමින් හිටපු අය තව කියන්න, තව කියන්න කියලා ෆෝන් එකක් අල්ලාගෙන හිටියා. මම මහත්තයාගේ කට අතින් වහලා ගේ ඇතුළට එක්කරගෙන ගියා. කෑම කාලා අපි යමු කියලා කෑම කන්න හැදුවා විතරයි ඇඹිලිපිටිය පොලිසියේ ඒ.එස්.පී එක්ක එච්.කිවු.අයි එතැනට ආවා. ඒ.එස්.පී. සුදුපාට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. එච්.කිව්.අයි අඳුරුපාට ඇඳුමක් ඇඳගෙන හිටියේ. ඒ.එස්.පී මා තල්ලු කළා. මෙන්න මූ තමයි මිනිහා කියලා මගේ මහත්තයා අල්ලගෙන දාගන්න කිව්වා. මම එපා කිව්වා. අපි කෑම කාලා ගෙදර යන්න හැදුවේ කිව්වා. මට බැනලා මහත්තයාගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා ගත්තා. ගහ ගහ ඇදගෙන ගියා. මම මහත්තයාගේ අම්මාට කෝල් කළා. කොරිඩෝව දිගේ මහත්තයා ඇදගෙන ගියා. මාත් පස්සෙන් ගියා. මහත්තයා උඩට ඇදගෙන යනකොට මම ඇගේ එල්ලුණා. මා තල්ලු කළා. ළඟ තිබුණු බෝඩ් එකේ එල්ලිලා බේරුණා. මට දරුවෙක් හම්බෙන්න ඉන්නේ තල්ලු කරන්න එපා කිව්වා. මට තුවක්කුවකුත් දික් කළා. කුණුහරුපෙනුත් බැන්නා. ඊට පස්සේ වීදුරු කැඩෙන සද්දයක් ඇහුණා. මහත්තයා කෑගහනවා ඇහුණා. ගහන්න එපා කියලා කෑගැහුවා. පස්සේ මම අමාරුවෙන් උඩට ගිහින් බැලුවා. එතැන ලේ ගොඩක් තිබුණා. මහත්තයාව බලන්න මම පහළට ගියා. ඒ.එස්.පී පාර පැත්ත බලාගෙන හිටියා. තල්ලු කරන්න එපා කියලා මහත්තයා කෑගද්දී එයා තල්ලු කළා. මම දුවගෙන ගිහින් බිම බැලුවා. මහත්තයා වැටිලා හිටියා. මම ඇහුවා මොන අපරාධයක්ද කළේ කියලා. කට වහගෙන හිටපන් කියලා මට බැන්නා. එතැන හිටපු කෙනෙක් මහත්තයාගේ ඔළුවට පයින් ගැහුවා. ඔය බොඩිය දාගනින් කියලා කියූ බවක් ඇහුණා‘ යැයි ඇය එදින සිදුවීම විස්තර කළාය.
මේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 27 වැනිදා ඇඹිලිපිටිය උසාවියේදී පැවැත්වීමට නියමිතය.
පොලිස්පති නියමයෙන් පරීක්ෂණ පවත්වන සබරගමුව ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිට දන්වා ඇත්තේ අතිරේක පොලිස් කණ්ඩායම එහි යෑම නිසා මරණය සිදුවී ඇති බවයි. පොලිස් වාර්තා නීතිපතිට යොමු කර ඔහුගේ උපදෙස් අනුව ක්‍රියාකිරීම සුදුසු බවද වික්‍රමරත්න මහතා පොලිස්පතිට යැවූ වාර්තාවේ දැක්වේ.
ඡායාරූප - ලහිරු හර්ෂණ





