වැඩි ආරක්ෂාවට කොට්ටේ යට හැංගූ ලක්ෂ 15 හොරු අරන්


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

නිදන කාමරයේ ඇඳේ කොට්ටය තුළට දමා පරිස්සමට තබා තිබූ රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම මුදල් අයිතිකාර කාන්තාව වේයන්ගොඩ පොලීසියට පෙරේදා (4) පැමිණිල්ලක් කර ඇත.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පැමිණිලිකාර කාන්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන තැනැත්තියකි.

ඉඩමක් විකුණා ලබාගත් මුදලකින් කොටසක් වූ මෙම මුදල ඇය බැංකුවක කලින් තැන්පත් කර ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකු කඩා වැටීමට ලක්වී මුදල් ලබා ගැනීමට නොහැකි වේ යැයි ඇති වූ සැකය මත ගිණුමේ තිබූ මෙම මුදල් පසුගිය ජනවාරි මාසයේ දිනක ඇය නිවෙසට රැගෙන පැමිණ ඇතැයි පොලීසිය කියයි.

මෙසේ රැගෙන පැමිණි මුදල් නෝට්ටු කොට්ටය තුළට දමා වැඩි පරිස්සමට සැඟවූ බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය පවසයි.

තමා නිදාගන්නේ මුදල් දමා ඇති මෙම කොට්ටය හිසට තබාගෙන බවත්, කොට්ටය ඇතුළේ මුදල් දමා ඇති බව සැමියා හෝ වෙන කිසිවකු හෝ නොදන්නා බවත්, ඇය පොලීසියට පවසා ඇති බව කියති.

කොට්ටය තුළ සඟවා තබන ලද මෙම මුදල් හොරා ගත්තේ කවුද කියා සිතා ගැනීමටවත් නොහැකි බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය සඳහන් කරයි.

රාජකාරි නිමා කර පෙරේදා නිවෙසට පැමිණ නිදන කාමරයට ගිය අවස්ථාවේ මුදල් සඟවා තිබූ කොට්ටය ඉරා දමා, පුළුන් විසිරී තිබෙන අයුරු ඇය දැක ඇත.

කොට්ටය තුළ දමා තිබූ මුදල් නොමැති බව දැක, ඒ බව ඇය පොලීසියට පැමිණිලි කර තිබේ.

ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත, ගම්පහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එන්. රංගන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම මුදල් සොරාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.