මෙතෙක් රජයෙන් දුන් වාහන ආනයන තීරුබදු බලපත්‍රය මෙවර අයවැය යෝජනා මඟින් අහෝසි කිරීමට එරෙහිව වෛද්‍යවරු පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සම් හයක් ගොනු කළහ.
මුදල් ඇමතිගේ හා එම අමාත්‍යාංශ ලේකම්ගේ තීරණය බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් සහ එම වාහන බලපත්‍රය ලබාදීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ඔවුනට බල කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් ද නිකුත් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජේ.යූ.ඩී.බී.ජයසුන්දර ඇතුළු වෛද්‍යවරුන් 28 දෙනෙක් මෙම පෙත්සම් ගොනු කළහ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම වගඋත්තරකරුවෝය.
මුලින් අය වැය යෝජනා කරමින් මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු මෙතෙක් තීරුබදු බලපත් ලැබූ නිලධාරයන්ට බලපත් අහෝසි කරන බව පැවසූවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව පැවසුවේ දෙවරක උපරිමයකට යටත්ව වසර දහයකට වරක් එම බලපත්‍රය නිකුත් කරය බවයි.

