වාසුගේ රැස්වීමට ආ නිලධරයෝ අමාරුවේ


භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධරයන් ඇමතීමේ රැස්වීමකට ඇමති වාසුදේව නානායක්කාර මහතා අද නොපැමිණියේය. ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීමට ගාලු දිසාවේ නෙළුව, තවලම වැනි ඉතා ඈත ප්‍රදේශ වලින් ද නිලධරයෝ පැමිණ සිටියහ. ඇමති නොඑන බව දැන ගත්තේ ඔවුන් රැස්වීමට ආ පසුවය. අඩු ගණනේ සියයකට වැඩි නිලධරයෝත් නිලධාරිනියෝත් පැමිණ ආපසු හැරී ගි‍යෝය. ඇමති නානායක්කාර මහතාගෙන් විමසූ විට ඔහු එසැණට කීවේ රැස්වීම නිසි ආකාරයෙන් සංවිධානය කැරගත නොහැකි වූ නිසා කල්තැබූ බවයි. ඒ බව කල්තියා නිලධරයන්ට දැනුම් දීමට නොහැකි වී ඇත. රජයේ නිලධරයන්ට රාජකාරී නිවාඩුවක් ලැබෙන නිසා ඔවුන් අපහසුතාවට ලක්නොවූ බව ද ඇමති කීවේය.