යාපනයේදී පොලිස් වෙඩි පහරින් සරසවි සිසුන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලිසියේ පස් දෙනා ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීෂ්කරන් මහතා නියෝග කළේය.
සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධ වාර්තා මෙතෙක් අධිකරණය ඉදිරිපත් නොකිරීම ගැන විවේචනය කළ මහේස්ත්‍රාත්වරයා එසේ කරන්නේ සිද්ධිය වසන් කිරීමේ අදහසින්දැයි රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.
පසුගිය ඔක්තෝබර 21 වැනි දා පොලිස් වෙඩි තැබීමෙන් යාපනය සරසවියේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් සහ දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍ය නඩරාජා කජන් මිය ගියහ. පොලිසිය මුලින් කීවේ මෙය රියඅනතුරක් බවයි. පසුව අනාවරණය වූයේ පොලිස් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.
සිසුන් දෙදෙනාගේ මරණ යාපනය මූලස්ථාන පොලිසිය විසින් රිය අනතුරකින් සිදුවූ මරණයක් යැයි ඒත්තු ගන්වමින් ඝාතන සිද්ධිය යට ගැසීම පිළිබදවත් ඊට අනුබල දුන් පොලිසියේ ඉහළ නිලධාරීන් කවුරුන්ද යනුවෙනුත් පරීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පළමු නඩු දිනයේ දී දුන් නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙතෙක් සිය රාජකාරිය ඉටු කර නැතැයි මහේස්ත්‍රාත්වරයා කීවේය.
මරණයට පත්වූ සිසුන් දෙදෙනාගේ දෙමාපියන් වෙත පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි බලකර ඇතැයි කියන පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලුවත් රහස් පොලිසිය එම වාර්තාවද මෙතෙක් ලබා දී නැතැයි මහේස්ත්‍රාත් පැවසීය. කිසිදු වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විවේචනය කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය යට ගැසීමේ උත්සහායක් පවතින්නේදැයි ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මෙම ප්‍රකාශය අධිකරණයේදී දැඩිව විවේචනයට ලක්වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ නීතිපති උපදේශයක් අත්‍යවශ්‍ය නොවන බව අගතියට පත්වූ පාර්ශවයේ නීතීඥවරුන් අධීකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.



