කොළඹ පාසල්හි 10 හා 11 ශ්‍රේණි වාර විභාගයේ අද දිනට (23) නියමිතවූ වාණිජ හා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පෙරුම මහතා කියි.
මීට හේතුව මේ ප්‍රශ්නපත්‍රය කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයයේ සිකුරාදා (19) සිසුනට ලබා දීම බවත් ඔහු පවසයි.
උදෑසන තිබූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය අවසන් වී දහවල් 12.30ට වාණිජ හා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රය ලබා දෙන බව කලින් දැනුම් දී තිබූ නිසා සිසුහු ඒ සඳහා සූදානමින් පැමිණ සිටියහ.
උදෑසන 10ට පමණ කලාප බලධරයන් හදිසියේ පාසල්වලට දුරකතන ඇමතුම් ලබා දෙමින් පවසා ඇත්තේ 12.30ට ලබා දීමට නියමිතව තිබූ වාණිජ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවී ඇති නිසා එය නොපවත්වන බවයි.
එම විභාගය නැවත 29 වැනිදා පැවැත්වෙන බවට සිසුන්ට දැනුම් දෙන ලෙසත්, ඒ සඳහා වෙනම ප්‍රශ්න පත්‍රයක් එවන බවත් කලාප බලධරයන් විදුහල්පතින්ට දන්වා ඇත.
ප්‍රශ්න පත්‍රය නැවත මුද්‍රණය කිරීමට යන වියදම කදවුරුන් විසින් දරනවාදැයි තමන් නොදන්නා බවත් ඒ නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් විදුහල්පතිවරු පැවසූහ.
මේ අතර කොළඹ එක්තරා පාසලක සිසුන් හට නියමිත වේලාවට වාණජ විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබා දී ඇති අතර එම සිසුන් පැයේ ප්‍රශ්න පත්‍රය විනාඩි තිහකින් නිමා කැර ඇත.
ඒ ගැන විමසූ විට ඔවුන් කියා ඇත්තේ සිකුරාදා (19) එම ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්නපත්‍රයකට උත්තර ලියූ බවයි.
මේ අතර කොළඹ කලාපයේ 11 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රය එම කලාපයේ පාසලක සිසුවකු නිවසේ සිට කරගෙන විත් තිබියදී හසුවී ඇති බවත්, එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර එම සිසුවාට ලැබුණේ කෙසේදැයි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
වාරවිභාගයේ දිගින් දිගටම ගැටළු මතුවූ බවත්, නිලධාරීන් වගකීම් විරහිතව කටුයුතු කර ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.
කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත නානායක්කාර මහතා පැවසුවේ එම විභාගය නැවත ලබන 29 වැනිදා පවත්වන බවයි.
එම ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට යන වියදම කවුරුන් විසින් දරනු ලබන්නේදැයි විදුහල්පතිවරුන් විමසන බව කියූ විට අධ්‍යක්ෂවරයා පැවසුවේ වියදම තමා විසින් දරනා බවයි. එය තමාගේ පෞද්ගලික වියදමින් දරන්නේද, රජයේ මුදලින් දරන්නේදැයි විමසූ විට දුරකථනය විසන්ධි විය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන් පී අයිලප්පරේම මහතා පැවසුවේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයයේ දී එම ප්‍රශ්න පත්‍රය සිකුරාදා ලබා දී ඇති බවට ලැබුණු තොරතුරු අනුව ප්‍රශ්න පත්‍රය අවලංගු කළ බවයි.
එය ජාතික පාසලක් නිසා විමර්ශනයකින් පසු වියදම්වන මුදල් එයින් අය කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයට දන්වන බවත් අයිලප්පෙරුම මහතා පැවසීය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන තමා දැනගත් මොහොතේම විමර්ශනයක් පවත්වන ලෙස උපදෙස් දුන් බවයි.
වැරදි කළ නිසිම නිලධාරියෙක් ආරක්ෂා නොකරන බවත්, කිසිම සිසුවකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතරබව බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
පාසල් පළමු වාර විභාගය හා දෙවන වාර විභාගය පාසල් මට්ටමින් පවත්වන බවත්, දුප්පත් පාසල්වලට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ගැනීමට ඇති ගැටළුවන නිසා ඇතැම් කලාප වල දෙවැනි වාර පරීක්ෂණය කලාප මට්ටමින් හෝ පාසල් කිහිපයක් එක්ව පවත්වන බවත්, තුන්වැනි වාර විභාගය පමණක් පළාත් මගින් පවත්වන බවත් රණතුංග මහතා කීවේය.