ව්‍යාපාරික කාන්තාවෝ අගයති


(අංජුල මහික වීරරත්න)

කාන්තා නායකත්වය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් භාවයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

2025 වසරේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී විශිෂ්ටතම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙල (Global CEO Top Businesswomen Awards අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී මෙය පැවැත්විණි.

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී සංසදය (Global CEO) සංවිධානය කරනු ලබන 2025 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී  විශිෂ්ටතම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙල යනු ව්‍යාපාරික ලෝකයේ නිර්භීත නව මිණුම් සලකුණු තබන විශිෂ්ට කාන්තාවන් ඇගයීමේ උළෙලකි. මෙහි දී විශේෂ දක්ෂතා දැක්වූ ව්‍යවසායික දිරිය කාන්තාවන් ඇගයීමට ලක් කෙරේ.

මෙරට ජනගහනයෙන් බහුතරයක් වන කාන්තාවන් අතුරින් මෙරට ආර්ථිකයට දායකවන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියට යන, සුවිශේෂි කාන්තාවන් ඇගයීම, දායකත්වය ඇගයීම සහ සවිබලගැන්වීම මෙන් ම ශක්තිමත් නායකත්වය, උපායමාර්ගික තීරණ ගැනීම සහ නවෝත්පාදනය සඳහා නොසැලෙන කැපවීම යන ගුණාංග ද ඇගයීමට ලක් කිරීම  මෙම සම්මාන උ‌ළෙලේ අරමුණයි.

උත්සවය ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  අනාගතය හැඩගස්වන කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීම සඳහා සංවිධානය කරන ලද 2025 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඉහළම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙලට පැමිණීමට ලැබීම සැබෑ ගෞරයක් ලෙස සලකන බව පැවසීය.