ව්‍යාජ ඔප්පුවකින් ඉඩම් විකිණිමේ උත්සාහයට අත්හිටවු සිර දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)
සිය පියා ඥාතියකුට දුන් ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් වෙනත් කෙනකුට විකිණීමට තැත් කිරීමේ චෝදනාවකට වරද පිළිගත් දියණියකට කොළඹ  මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළේය.


ඉඩම වෙනත් පුද්ගලයකුට විකිණීමට තැත් කිරීමෙන් අතෘප්තියට පත් වු පියාගේ ඥාතියාට රුපියල් ලක්‍ෂ 08ක වන්දියක් ගෙවීමට විත්තිකාර දියණියට නියම කළ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂ 02ක වන්දි මුදලක් වින්දිතයින් හා සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමේ පණත යටතේ ස්ථාපනය කොට ඇති අරමුදලට ගෙවීමටද නියම කළේය.


චෝදනාවන්ට වරද පිළගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ගීතා ජයන්ති කුමාරි හෙට්ටිහේවා නමැත්තියටය.


2005 ජුලි මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාළඹේදී තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති තලංගම පිහිටි නිවසක් සහිත ඉඩම තමාට අයිති බව දයාසිර අබේකෝන් නමැත්තාට හඟවා ඔහු රවටා රුපියල් ලක්‍ෂ 52ක මුදලක් තමන්ට බාරදීමට වංක ලෙස ඔහු පෙළඹවන ලදැයි විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.


විත්තිකාරිය ඇතුළු දරුවන් සිව්දෙනෙකු සිටින සිය පියාට දරුවන් නොසැළකීම නිසා එම පියාට සැළකූ ඔහුගේ ඥාතියාට ඔහුට අයත් තලංගම පිහිටි ඉඩම ලබාදී ඇතැයිද එසේ තිබියදී විත්තිකාරියගේ පියා ඔහුගේ ඥාතියකුට දුන් ඉඩමක් විත්තිකාර දියණිය මෙලෙස වෙනත් පුද්ගලයකුට  විකිණීමට  තැත් කොට ඇති බවද හෙළි වී ඇත. 


මේ සම්බන්ධයෙන් පැවැති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළගත්තාය.


ඒ අනුව විත්තිකාරියට අදාළ දඩුවම් නියම කළ විනිසුරුවරයා නියම කළ වන්දි මුදල් නොගෙවුවහොත් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.