වසර දෙකට ආදි සිසු ගිණුමට ලක්ෂ 132ක්


වසර දෙකක මාස තුනක දී පමණක් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අදි ශිෂ්‍ය සංගම් ගිණුමකට රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ හැට එක් දහසක් බැර කර ඇති බව ද, පාසලට ළමයින් ඇතුළත් කිරීමේ එම මුදල එකතු කරන්නට ඇතැයි පෙනී යන බව ද එම පාසල සම්බන්ධයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයක දී හෙළි වී ඇත.

විද්‍යාලයයට සිසුන් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ නොතකා මුදල් අය කරන බවට විගණනය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව පසුගිය ඔක්තෝබර මාසයේ මෙම විශේෂ විගණන පරීක්ෂණය සිදු කර තිබේ.

ළමයින් ඇතුළු කිරීමේ දී   සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්  අදහස් හා ඊට ගනු ලබන ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන ලේකම්ට ලිඛිතව දන්වා ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආංචි කියයි.

2013 සහ 2014 වසරව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ගැන විගණනය වැඩි අවධානයක් යොමු කර තිබිණි.

එම පාසලට ළමයින් ඇතුළු කිරීමේ දී ආදි ශිෂ්‍ය සංගමය දෙමාපියන්ගෙන් මුදල් එක් රැස් කර ආදි ශිෂ්‍ය සංගමයේ බැංකු ගිණුමට බැර කරගෙන ඇති බව නිරීක්ෂණය වූ බවත්, 2012 අගෝස්තු, 2013 ජූලි, සැප්තැම්බර සහ ඔක්තෝබර මාසවල පමණක් රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ හැට එක් දහසක් පමණ ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර වී තිබුණු බවත්, ඒ කාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් වෙනත් විශේෂ ව්‍යාපෘති සිදුකර නොතිබුණු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන ලේකම්ට දන්වා යවා ඇත.

එම මුදල් ලැබුණු ආකාරය ගැන ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිගෙන් විමසුවක් පිළිතුරු නැති බව ද විගණන වාර්තාවේ සඳහන්ය.

එක ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම පළමු වාරයේ අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ලිඛිතව දන්වා තිබුණ ද පසුගිය සැප්තැම්බර මාසය වන තෙක් සිසුන් ඇතුළත් කර ඇතැයි ද, දෙවැනි හා තුන්වැනි වාර වල ඇතුළත් කර ඇති සිසුන් ගණන 142ක් යැයි ද විගණනයේ දී හෙළි වී ඇත.

සුදුසුකම් සැපිරූ දරුවන් පාසලට ඇතුළත් නොකර වෙනත් දරුවන් ඇතුළු කර ඇති බව ද විගණනකාධිපති දෙපාර්තමේන්තුව උදාහරණ සහිතව අධ්‍යාපන ලේඛම්ට දන්වා තිබේ.