වසර එක හමාරක් තිස්සේ කාලසටහන් නෑ


වසර එක හමාරක් තිස්සේ ඉගැන්වීම් කාල සටහන් ලබා නොදී  ස්ථාන මාරු ලිපි හතක් ලබා දුන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් ප්‍රධාන පළේ පාසලක ගුරුවරයකුට වහාම කාලසටහන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව   නිර්දේශ කළේය.

වසර පහකටත් අඩු කාලයක් එම විද්‍යාලයයේ සේවය කළ එම උපාධිධාරී ගුරුවරයා 2015 මාර්තු තුන් වැනි දා හදිසියේ ස්ථාන මාරු කර ඇති බවත්, ඔහු ඊට අභියාචනා කර තිබිය දී යළි මහරගම කොට්ඨාස කාර්යාලයට ස්ථාන මාරු කර ඇති බවත්, ඉන් පසු හදිසියේ වැටුප් ද අත්හිටුවා ඇති බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේදී කියැවිණි.

ගුරුවරයාගේ වැටුප් අත්හිටුවීමෙන් පසු ඒ බව පළාත් අධ්‍යාපන කාර්යාලයයට පැමිණිලි කිරීමෙන් පසු පළාත් අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාගේ නියෝග අනුව යළි වැටුප් ලබා දී ඇති අතර එහෙත් කාසටහනක් ලබා දී නැත. ඒ අතරතුර තවත් ස්ථානමාරුවීම් දී තිබේ. ඒ අනුව මෙම ගුරුවරයා පසුගිය වසරේ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ල අනුව කාලසටහන් ලබා දීමට විදුහල්පති එකග වූ බවත්, එනමුත් කාලසටහන ලබා දීම දිගින් දිගටම ප්‍රමාධ කර ඇති බවත් කියමින් ලංකා ගුරු සංගමය මෙම ගුරුවරයා වෙනුවක් යළි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පසුගියදා පැමිණිල්ල විභාග කළ මානව හිමිකම් කොමිසම වසර එක හමාරක් තිස්සේ ගුරුවරයාට කාලසටහනක් නොදීම අසාධාරණ බව තීරණය කර වහාම එම ගුරුවරයාට කාලසටහන් ලබා දෙන ලෙස විදුහල්පතිට නිර්දේශ කළේය.

මේ ගැන කළ විමසීමක දී එම පාසලේ විදුහල්පතිවරයා කීවේ කොමිසමේ නිර්දේශ ලිඛිතව ලැබෙන තෙක් කාලසටහන් ලබා නොදෙන බවයි. එම ගුරුවරයා අතිරික්ත ගුරුවරයකු බවත් විදුහල්පතිවරයා කීවේය. ගුරුවරයාට වඩා සේවා කාලය වැඩි හා සේවාකාලය අඩු ගුරුවරු සිටිය දී එම ගුරුවරයා අතිරික්ත වූයේ කෙසේදැයි විමසූ විට විදුහල්පති කීවේ ගුරුවරයා අතිරික්ත වීමට සේවා කාලය අදාළ නොවන බවයි.