වවුනියාවේ 4157ක් අවතැන්


(සිතුම් චතුරංග)

වවුනියාව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 1228 අයත් පුද්ගලයින් 4157 ක් පීඩාවටපත්ව ඇතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පවසයි.

පවුල් 367 අයත් පුද්ගලයන් 1279ක් සුබසාධන මධ්‍යස්ථාන 18ක රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් සඳහන් කළේය.

වර්ෂාවත් සමඟ වැව් පිටාර ගැලීම හේතුවෙන් යාපනය නුවර ඒ නවය මාර්ගය නොච්චිමොටෙයි පාලම අසලින් සහ කළුකුන්නම්මඩුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසාදැමූ අතර වවුනියාව මන්නාරම මාර්ගයද පරයානකුලම් ප්‍රදේශයෙන් වසා දැමූ බවද පැවසීය.

මැදවච්චිය මන්නාරම මාර්ගයද සෙට්ටිකුලම සහ පරයානකුලම් ප්‍රදේශවලින් වසාදමා ඇති බවත් මෙම මාර්ගවලින් අඩි හයකට ආසන්න උසකින් ජලය ගලාබසින බවත් පැවසීය.

වවුනියාව පාවක්කුලම වැවේ වාන්දොරටු සියල්ල අඩි දහය බැගින් විවෘත කරඇති අතර පේරාරු ජලාශයේ වාන්දොරටු සියල්ලද විවෘත කිරීම හේතුවෙන් මෙම අපදා තත්වය උග්‍රවී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

පේරාරු ජලාශය ඇතුළු වැව් කිහිපයක් ඉවුරු කපා ජලය ඉවත් කිරීමට සිදුව ඇති බවත් අවතැන්වූ පිරිස එම හේතුවෙන් ඉහලයා හැකි බවත් පහත්බිම් වල සිටින පිරිස් අවධානයෙන් සිටින ලෙසත් වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටිති.