(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව මහරෝහලේ විදුලි සෝපානයක් අක්‍රිය වී එහි සිරවූ පුද්ගලයින් හත් දෙනකු බේරා ගැනීමට රෝහල් නිලධාරීන්ට විනාඩි 40 කට වඩා අධික කාලයක් ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එම පිරිස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
රෝගියෙකු බැලීම සදහා සෙනසුරාදා (18) රෝහලේ 4 වැනි වාට්ටුවට යමින් සිටියදී එක්වරම විදුලි සෝපානය අක්‍රිය වී එය මහල් දෙකක් අතර සිරවී නතර වී තිබේ.
සිර වූ පිරිස අතර සිටි මාධ්‍යවේදී දිනසේන රතුගමගේ මහතා කියා සිටියේ සෝපානය සිර වූ අවස්ථාවේදීම හදිසි ඇමතුම් බොත්තම ඔබා ඒ පිළිබදව සංඥා කළත් විදුලි සෝපානය බාර කිසිවකු එම ස්ථානයට නොපැමිණි බවයි. සෝපානය තුළ සිටි දෙදෙනෙකුට හුස්ම ගැනීමට අපහසු වූ අතර සෝපානයේ සටහන් කර තිබූ හදිසි ඇමතුම් අංකයකට අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් ලබා ගෙන තත්තවය විස්තර කළත් එම දුරකතන අංක දෙකම කොළඹ පිහිටි විදුලි සෝපාන සමාගමක දුරකතන අංක වු බවද ඒ මහතා පැවසීය.

