වල්ලපට්ටා කිලෝ 26 ක් ගුවන් තොටුපලේදී අල්ලයි


වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 26 ක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කුලියාපිටියේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 123 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ තිබුණි.

ඔහුගේ හැසිරීම පිළිබඳ ඇති වු සැකයක් මත ගමන් මළු පරික්ෂා කිරීමේදී මෙම වල්ලා පට්ටා තොගය සොයාගෙන ඇත.

උසස් රේගු නිලධාරියෙකු පැවසුවේ අදාල ගමන් මල්ලේ වල්ලා පට්ටා පමණක් තිබූ බවත් සැකකරු ගේ ගමන් මල්ල ගුවන් තොටුපොළ ස්කෑන් යන්ත්‍රයට අසු නොවීම පුදුමයට කරුණක් බවයි. ඒ පිළිබඳ වෙනම විමර්ශණයක් අරඹා ඇති බවත් ඔහු කීය.