වර්ජනය වාහන බලපත්‍රයට නොවේලු


රජයේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තික සංවිධාන 19ක් වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරනුයේ පෞද්ගලික වාසි අපේක්‍ෂාවෙන් නොව රාජ්‍ය සේවාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

වාහන බලපත‍්‍රයක් වෙනුවෙන් රජයේ නිලධරයන් ජනතාව අපහසුතාවයට පත් කරන බවට ඇතැමුන් චෝදනා කළත් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ අනාගතයේ දී රාජ්‍ය සේවයට එක්වන අයට අහිමිවන විශ‍්‍රාම වැටුප ඇතුළු වරප‍්‍රසාද රැක දෙමින් ගුණාත්මක රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේ අපේක්‍ෂාවෙන් බව එම කමිටුවේ සභාපති ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

නව වරප‍්‍රසාද නොව තිබුණු වරප‍්‍රසාද හෝ රැකගැනීමට නොහැකි වුවහොත් අනාගත පරපුර රාජ්‍ය සේවයට එක්නොවී රාජ්‍ය සේවාව අඩාල වී යනු ඇතැයි ද සභාපතිවරයා කිවේය.

නිදහස් සෞඛ්‍ය සේවා අඩාල කර රට ව්‍යාපාරික පැලැන්තියට පවරා දීමේ හා විදේශීය වෘත්තිකයක් මෙරටට ගෙන ඒමේ උත්සාහයක රජය නිරත වී සිටින බව කී ඒ මහතා ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බවද කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය චන්දන ජයකොඩි, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු වැඩ වර්ජනයට සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

GMO_20151235

ඡායාරූප හා වීිඩියෝ - ශාන්ත රත්නායක