වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට


( තිළිණි ද සිල්වා )

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවිය අද ( 19) වාර්තා කළේය. චෙන්නායිහි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපිට ඊයේ (18) උද්ඝෝෂණයේ නිරත ව සිටියදී කලහකාරී ලෙස හැසිරුණු  මෙම පිරිස එම කාර්යාලයට කඩා වැදීම උත්සාහ කර ඇති අතර එහිදී මොවුන් අත්අඩංගුවට පත්ව තිබේ . 

ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළ කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද එම වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි විරෝධතාකරුවන් අමතමින් එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත්තේ අදාළ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට තවත් වසර දෙකක කාලයක් ලබාදිය යුතු බවට වන යෝජනාව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති බවයි.   

මෙම නව යෝජනාව හරහා දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බව පවසන වයිකෝ පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දීය රජය අදාළ යෝජනාවට එරෙහිව බලපෑම් කළ යුතු බවද ඔහු සඳහන් කර ඇතැයි ඩෙකෑන් ක්‍රොනිකල් වාර්තාවේ දැක්වේ.